මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් නාරම්මල පොලිස් වෙඩිල්ලේ ඇතුල් කතාව මෙන්න..

නාරම්මල පොලිස් වෙඩිල්ලේ ඇතුල් කතාව මෙන්න..

0

පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියමින් ලොරි රථ රියදුරෙකුට මහමගදී වෙඩිතබා ඝාතනය කළ නාරම්මල පොලීසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගුණවර්ධන යන නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම නිලධාරියා නාරම්මල පොලීසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස පත්වී ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී පසුගිය 16 වෙනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (18) උදෑසන දූෂණ මර්දන වැටලීම්වලට යන බව සඳහන් කර පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එහිදී මෙම නිලධාරියා හෝ සෙසු නිලධාරීන් සිවිල් ඇදුමින් සැරසී යන බව සටහන්කර නොමැති බවත් සටහන් තබා ඇත්තේ නිල ඇදුමින් සැරසී ගමන් කරන ආකාරයට බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුමට අදාලව වැටලීම් කිරීමට යැයි කියා උසස් නිලධාරීන් කිසිවෙකුගේත් අවසරයක් නොමැතිව මෙම නිලධාරියා දූෂණ මර්දන අංශයේ නිලධාරිනියක් සහ නිලධාරීන් දෙදෙනෙක් සමඟ පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ සිවිල් ඇදුමින් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම නිලධාරියා සමඟ දූෂණ මර්දන වැටලීමට ගොස් ඇත්තේ පොලිස් සැරයන් අමරතුංග (40925), කොස්තාපල් කුලසේකර (72817), කාන්තා කොස්තාපල් බාලසූරිය (9516) යන නිලධාරීන් පිරිසය.

මෙදින දහවල් කාලය තුළ නාරම්මල පොලිස් වසම තුළ කරක්ගසා ඇති මෙම නිලධාරීන්ට කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව දහවල් කාලයේදී පොලිස් ස්ථානයට පැමිණ ඇත. එහිදී මෙම නිලධාරීන් රාජකාරිය අවසන් කිරීමේ සටහන් නොදමා දහවල් ආහාරය ගෙන පොලිස් ස්ථානය තුළ මද වේලාවක් රැදී සිට ඇත.

දහවල් ආහාරයෙන් පසු සැරයන්වරයා සහ කාන්තා කොස්තාපල්වරිය විවේකය ලබාගෙන පොලිස් ස්ථානයේ රැදී සිට ඇති බවත් උප පොලිස් පරීක්ෂකවරයා කවුරුන් හෝ අල්ලාගෙන විත් දවසේ වැටලීම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම සදහා පොලිස් කොස්තාපල් කුලසේකර සමඟ නිලධාරියාට අයත් පුද්ගලික යතුරු පැදියේ නැගී ගමන්කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එසේ පොලිස් ස්ථානයෙක් පිටත් වී නැවත වරක් ගිය මෙම නිලධාරීන් දෙදෙනා සවස් කාලය වනතුරු හතර වටේ කරක් ගැසුවත් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත. හිස් අතින් නැවත පොලිස් ස්ථානයට පැමිණිමට මැලිකමක් දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයා නාරම්මල හාල්වැල්ල හන්දිය අසල රැදී සිටියදී SG PQ 7238 අංකය දරණ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථය එම ස්ථානයෙන් ගමන්කර තිබේ.

මෙම රථයේ ගමන්කර ඇත්තේ මහරච්චිමුල්ල වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කේ.ඒ. රොෂාන්ත කුමාරසිරි (41) නැමැති වඩු කාර්මිකයෙකි. මෙම වඩුකාර්මිකයාවත් ඔහුගේ ලොරි රථයත් නාරම්මල වැසියන් මෙන්ම පොලීසියද දන්නා කියන බව පොලීස් තොරතුරු අනාවරණය කළේය.

මෙම ලොරියට උප පොලිස් පරීක්ෂක වරයා විසින් නතරකිරීමට එම අවස්ථාවේදී සංඥකාර ඇති බවත් ඇතැම් විට ඔහු මෙම රථයට අත දමා නවතන්නට උත්සහා දරා ඇත්තේ එහි අල්ලාගන්නට ලී කෑල්ලක්වත් තිබේදැයි සිතාගෙන විය හැකි බව පොලීසියේම උදවිය සඳහන් කළේය.

මෙම නිලධාරියා අදුරේ සිවිල් ඇදුමකින් සැරසී ලොරි රථය නතරකිරීම හේතුවෙන් රථය නොනවත්වා ධාවනයකර ඇත. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා එම රථය පස්සෙන් පන්නාගොස් නාරම්මල රම්මුතුගල පිහිටි ජී.එස්. එළවළු වෙළඳසැල අසලදී රථය නවතා ගිනිඅවියේ අගුල් ඉවත්කර රියදුරුගේ හිසට තබා ඇති බව පොලීසිය මේ වනවිට කර ඇති මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. අගුල් ඉවත් කර තිබීම හා ඒ වනවිට කලබලයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සිටි බැවින් ගිනිඅවිය ඔහු අතින් ක්‍රියාත්මක වී ඇති බව විමර්ශනයේදී පෙනීගොස් තිබේ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශන පැවැත්වෙන්නේ කුළියාපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ පූර්ණ අධික්ෂණයෙන් කුළියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි. වෙඩි තැබූ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කිරීමටද පියවරගත් බව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය. වෙඩි තැබූ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇති අතර එය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කෙරන බව ද ඔහු පැවසුවේය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද ඊයේ (19) නාරම්මලට පැමිණ තිබුණි. එම නිලධාරීන් පොලීසියේ පොත්පත් සිය භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබුණි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version