මුල් පිටුව උණුසුම් පුවත් වර්ජින් ඔස්ට්‍රේලියා සමඟ ශ්‍රීලංකන් එක්වී ඔස්ට්‍රේලියා මෙහෙයුම් පුළුල් කරයි

වර්ජින් ඔස්ට්‍රේලියා සමඟ ශ්‍රීලංකන් එක්වී ඔස්ට්‍රේලියා මෙහෙයුම් පුළුල් කරයි

0

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘වර්ජින් ඔස්ට්‍රේලියා’ ගුවන් සේවය සමග එක් වී ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගත හැකි වන අතර, ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තයන් කරා ගමන් කිරීමට හැකි වේ.

“ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඔවුන් තම මිතුරන් හා ඥාතීන් බැලීමට නිතර දෙරට අතර ගමන් කරනවා. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව බලා යනවා. මෙම හවුල්කාරීත්වය මගින් අපට ඔස්ට්‍රේලියාවේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, ඔවුන් ඇතුළුව අපගේ සේවාවන් භාවිතා කරන සියලුම දෙනාට වඩාත් හොඳ සේවාවක් සමග ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට මෙල්බන් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, කොළඹ සහ සිඩ්නි අතර සතියකට ගමන් වාර තුනක් ක්‍රියාත්මක කරයි. මෙම නව හවුල්කාරීත්වය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් මෙල්බන් හෝ සිඩ්නි වෙත ගමන් කරන මගීන්ට එම නගරවල සිට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, කෙයාන්ස්, ඩාවින්, හෝබාර්ට්, හැමිල්ටන් අයිලන්ඩ්, ලෝන්සෙස්ටන්, ගෝල්ඩ් කෝස්ට් සහ පර්ත් යන නගර වෙත ගමන් කළ හැකි අතර, මීට අමතරව නවසීලන්තය, සැමෝවා සහ ෆීජි යන රටවල් වෙතද ගමන් කළ හැක.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ඔස්ට්‍රේලියාවේ නගර රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ගුවන් මගීන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. මේ යටතේ මගීන් check-in වීම සහ ගමන් මලු භාරදීම සිදුකළ යුත්තේ තමන් පිටත් වන ගුවන් තොටුපළේදී පමණක් වන නිසා අතරමැදි ගුවන් තොටුපළවලදී යළි check-in පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග අත්වැල් බැඳගෙන ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් හඳුන්වා දීම, ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ටද ඉමහත් පහසුවක් වනු ඇත. මෙම සංචාරකයන් ශ්‍රීලංකන් ගුවන් සේවයට අතිශයින් වැදගත් පාරිභෝගික කාණ්ඩයක් වන අතර, මෙය ඔස්ට්‍රේලියානු සංචාරකයන් මෙරටට පැමිණීමේ වර්ධනයක් සිදුවීමටද හේතුවක් වනු නිසැක ය. එමෙන්ම මාලදිවයින, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල සිට ශ්‍රී ලංකාව හරහා ඔස්ට්‍රේලියාව බලා ගමන් කරන මගීන්ටද මෙය ඉමහත් පහසුවක් වනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙල්බන් බලා පියාසර කිරීම නැවත ආරම්භ කළ අතර, 2020 වසරේ ජූනි මාසයේදී සිඩ්නි නගරය වෙත පියාසර කිරීම නැවත ආරම්භ කළේ ය. එම කාලයේ සිට මේ දක්වා මගීන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රීලංකන් ගුවන් යානාවලින් ඔස්ට්‍රේලියාව බලා ගමන් කර තිබේ. මෙම හවුල්කාරීත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඔස්ට්‍රේලියානු මෙහෙයුම් තවදුරටත් වැඩිදියුණු කිරීමට හා පුළුල් කිරීමට මහෝපකාරී වනු නිසැක ය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.srilankan.com

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version