මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් වෙසින් එන හොරු ගැන පරෙස්සමෙන්

පොලිස් වෙසින් එන හොරු ගැන පරෙස්සමෙන්

0

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින සිවිල් පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරුකර නොගෙන එවැනි පුද්ගලයින්ට නිවාස හෝ වෙනත් පරීක්ෂා කිරීම්වලට ඉඩ නොදන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් පොලිස් මූලස්ථානය වෙනුවෙන් නිකුත්කර ඇති එම නිවේදනය මෙසේය.

“ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ ගමන්මළු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි පවසමින් දේපල කොල්ලකෑම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙන වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන් හී නිලධාරීන් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන් විසින් එසේ සිවිල් ඇදුමින් පරීක්ෂා කිරීම් සිදු නොකරන අතර එම විශේෂ අංශයන්හී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ද ඔවුන් විසින් නිල රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත. පොලිස් ස්ථාන නිලධාරීන් විසින් කරන වැටලීමකදී එම කණ්ඩායමේ නිලධාරියෙකු හෝ කිහිප දෙනෙකු නිල ඇදුමින් සිටීමට කටයුතුකරනු ඇත.

මේ ආකාරයෙන් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු නොකර එවැනි පරීක්ෂා කිරීමක් සඳහා අවස්ථාවන් ලබා නොදීමට කටයුතු කළ යුතු අතර මෙවැනි අවස්ථාවන් වලදී මහජනතාව විසින් ඒ පිළිබඳව සැළකිලිමත්ව කටයුතුකරන මෙන් පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී. සැකකටයුතු අවස්ථාවන් වලදී ඒ සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානය වෙත නොපමාව දැනුම්දීමට කටයුතු කරන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.“

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version