මුල් පිටුව උණුසුම් පුවත් පොලිස්පති අර්බුදය විස‍ඳ‍ෙයි -ටිරාන් සහ සී.ඩී. ලොකු සාකච්ඡාවක

පොලිස්පති අර්බුදය විස‍ඳ‍ෙයි -ටිරාන් සහ සී.ඩී. ලොකු සාකච්ඡාවක

0

පොලිස්පතිවරයෙක් නොමැතිව මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය සති දෙකකට ආසන්න කාලයක් ගමන්කර ඇත.

පරිපාලන ගැටළු ඇතැයි කීවාට කිසිවක් මෙතෙක් පැන නැගී නොමැති. ඊට හේතුවී ඇත්තේ මේ වන විට පොලීසියේ බොහෝ පරිපාලන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මගින් සිදුවන බැවිනි.

පරිපාලන අංශයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේ කාලය තුළ ලොකු සේවයක් ඉටුකරනු ලැබීය. පොලිස්පතිවරයාගෙන් පසු මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන නිලන්ත ජයවර්ධන පොලිස්පති ධූරයේ හිඩැස පසුගිය දින කිහිපය පුරාව ලස්සනට පුරවනු ලැබීය. ඒ බව කියන්නේ අප නොව. පොලිස් මූලස්ථානයේම නිලධාරීන්ය.

එහෙත් මේ කාලය තුළ වැඩ බැලීමට නිලන්ත ජයවර්ධන පත්කිරීමක් හෝ ඒ සඳහා ඔහුගේ නම යෝජනාවීමක්වත් සිදු නොවීය. පොලිස්පතිධූයේ වැඩ බැලීමට බලධාරීන් අතර යෝජනා වී තිබුණේ නම් දෙකක් පමණි. ඒ අපරාධ හා රථවාහන අංශයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන නිලධාරීන්ගේ නම්ය.

මෙම නිලධාරීන්ට උඩින් පිළිවෙලින් නිලන්ත ජයවර්ධන, ලලිත් එස්. පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් සිටිති. ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න සිටින්නේ ජේ‍යෂ්ඨත්ව පිළිවෙලින් හතර වෙනි සහ පස් වෙනි ස්ථානවලය. ඔවුන්ට ඉහළින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක් සිටියදී මෙසේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල නිලධාරීන් දෙදෙනෙක් වැඩ බලන පොලිස්පතිධූරයට නම් වන්නේ ඉහළින් සිටින තිදෙනාටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බැවිනි. ඒ අයට චෝදනා පත්‍රද ලබාදී ඇති අතර මෙතෙක් කඩිනමින් විභාගකර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය පමණි. පොලිස් කොමිෂන් සභාව පසුගිය 07 වෙනිදා රැස්වී දේශබන්දු තෙන්නකෝට එරෙහිව පැවති විමර්ශනයේ ප්‍රගතිය පවා සලකා බලා ඔහුව සියළු චෝදනා වලින් නිදහස් කිරීමට තීරණයකර ඇති බවද කොමිෂන් සභාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය. මේ ගැන නිල තොරතුරක් දැන ගැනීමට කොම්ෂන් සභාවේ බලධාරියෙක් සම්බන්ධකර ගැනීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ විය.

කෙසේවෙතත් දේශපාලන අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව පොලිස්පතිධූරය සම්බන්ධයෙන් පවතින අර්බුදය හෙට (09) සවස් වන විට විසදී හමාරවනු ඇත. වැඩි සම්භාවිතාවක් ඇත්තේ සී.ඩී. වික්‍රමරත්නටම තවත් සේවා දිගුවක් ලැබීමටය. මෙම සේවා දිගුව කොපමණ කාලයකට ලැබෙනු ඇතිදැයි පැහැදිලි නැතත් එය මාස තුනකට නොඅඩු වනු ඇත. ඇතැම් විට මෙවර මෙම සේවා දිගුව මාස 03කට එහා ගිය එකක් ද විය හැකිය.

සී.ඩී.වික්‍රමරත්නට නැවතත් සේවා දිගුවක් ලැබුණහොත් පොලිස්පතිධූරය සම්බන්ධයෙන් මේ වන විට පැවති අර්බුදය විසදෙන්නේ එම සේවා දිගුවට අදාල කාලයට පමණි. නැවතත් පොලිස්පතිධූරය සම්බන්ධයෙන් අරුබුදයක් එම සේවා දිගුව අවසන් වීමත් සමඟ ඇතිවන්නේ මේ ඇතිවූ තත්ත්වයට වඩා දරුණු ලෙසිනි. ඒ පොලිස්පතිධූරයට මේ වන විට ලොකු තරගයක් ඇතිවී තිබෙන බැවිනි. එම තරගයට ආගමික නායකයින්, දේශපාලනඥයන්, සිවිල් සංවිධාන, නීතීඥ ප්‍රජාව මෙන්ම පොලීසියේ උදවියද සම්බන්ධව සිටිති. පොලිස්පතිධූරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය තීව්‍ර වී ඇත්තේ එබැවිනි.

කෙසේ වෙතත් පොලීසියේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා සී.ඩී.වික්‍රමරත්න අතර පසුගිය බ්‍රහස්පතින්දාත් අද (08) දිනයේත් විශේෂ සාකච්ඡාවක් පැවති බව ද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය. පොලීසියේ ඉදිරි ගමන ගැන මෙහෙදී දීර්ඝ ලෙස අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා අතර අදහස් හුවමාරුවී ඇති බවද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර හෙට (09) සවස පොලිස්පතිධූරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බවත් එම අවස්ථාවට බොහෝ විට සී.ඩී. වික්‍රමරත්න ද සහභාගිවීමට නියමිතව ඇති බව දේශපාලන තොරතුරු අනාවරණය කළේය. බොහෝ විට මෙම සාකච්ඡාව අවසනායේ හෝ ඊට පෙර පොලිස්පතිධූරයේ ගැටළුව නිරාකරණය වී තිබෙන ඇති බවද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version