මුල් පිටුව උණුසුම් පුවත් ‘ජනතාවට තාමත් මේ මුළු සිස්ටම් එකම ෂුවර් නෑ’

‘ජනතාවට තාමත් මේ මුළු සිස්ටම් එකම ෂුවර් නෑ’

1

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පෙරේදා (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

“ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට නුවරඑළියේ නිවසක් තිබූණා. බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නෙ කෝපි වගාව සහ අපගේ වැවිලි ආර්ථිකයේ ආරම්භය ප්‍රවර්ධනය කළ තැනැත්තායි.

අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 – 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා .

මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ.

නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි.

තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා.පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.”

සංජීවනී එදිරිසිංහ

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version