මුල් පිටුව උණුසුම් පුවත් හම්බන්තොට වරායට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයක්

හම්බන්තොට වරායට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයක්

0

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම පරිශ්‍රය තුළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කොට ඇත.

වරායට වෙත පැමිණෙන යාත්‍රා සඳහා තීරු බදු රහිත ව්‍යාපාර සේවා සැලසීමේ අරමුණින් පිහිටුවන ලද සංකීර්ණය ආරම්භ කරමින්, එහි පළමු වරට තීරුබදු රහිත වෙළෙඳසැල් 2ක් විවෘත කල බව හම්බන්තොට වරාය බලධාරීන් සඳහන් කරයි.

තීරුබදු රහිත වෙළෙඳාමේ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති ආයතන වන රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම සහ යුනයිටඩ් ලයිෆ් සමාගම, සංකීර්ණයේ පළමු ක්‍රියාකරුවන් දෙදෙනා වන අතර ඔවුන් ආනයනික මත්පැන්, චොකලට්, සුවඳ විලවුන්, දුම්කොළ, ආදි ජාත්‍යන්තර තීරුබදු රහිත භාණ්ඩ රාශියක් පිරිනමන බව හම්බන්තොට වරාය බලධාරීන් සඳහන් කරයි.

හම්බන්තොට වරාය විසින් සලසන පහසුකම් වැඩිදියුණු වීමත් සමඟ වරායට පැමිණෙන මගී ප්‍රවාහන යාත්‍රා සංඛ්‍යාව අධික වී ඇති බැවින්, තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, පැමිණෙන විදේශිකයන්ට සහ නැව් කාර්ය මණ්ඩලයන්ට විශේෂ අගයක් එක් කරනු ඇත. සුඛෝපභෝගී මගී නෞකා වරායට ආකර්ෂණය කිරීම තුළින් රටේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතියට දායක වෙමින් සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම කර්මාන්ත උද්‍යානය, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය සහ ඒකාබද්ධ ප්‍රවාහන සේවා වැනි, වරාය සේවා රැසක් සපයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, වරායේ ජාත්‍යන්තර වාණිජ මධ්‍යස්ථානය යටතේ පිහිටා ඇති බවද හම්බන්තොට වරාය බලධාරීින් සඳහන් කරති.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ චයිනා මර්චන්ට් සමූහයේ (CMG) සභාපති මියාඕ ජියැන්මින් මහතාද තීරුබදු රහිත සංකීර්ණයේ සංචාරයක නිරත වී ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා රෝයලේ තීරුබදු රහිත වෙළෙඳසැල විවෘත කළ අතර, ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා වෙනුවෙන්, යුනයිටඩ් ලයිෆ් තීරුබදු රහිත වෙළෙඳසැල විවෘත කිරීමේ අවස්ථාවට, HIPG හි ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

1997 සංස්ථාපිත ශ්‍රී ලාංකික සමාගමක් වන, රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ සියලුම සම්බන්ධක සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සහ වරායන් හරහා සිය ජාලය පුළුල් කිරීමට අපේක්ෂා කරයි. වර්තමානය වන විට ඔවුන්ගේ මෙහෙයුම් කොළඹ වරාය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙන්ම දැන් HIP වෙතද ව්‍යාප්ත වී ඇත.

ලංකාවේ පැරණිතම පුද්ගලික බැඳුම්කර බලපත්‍ර හිමිකරුවකු වන යුනයිටඩ් ලයිෆ් සමාගම, 1982 දී ආරම්භ විය. තීරුබදු රහිත "වයින් සහ ස්ප්‍රිතු" ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළට සපයන ඔවුන්, තානාපති කාර්යාලවලට සහ නැව් සේවාවන් හටද අළෙවි කරයි. මාලදිවයිනේ ශාඛා පිහිටූවිමත් සමඟ ජාත්‍යන්තර වෙළඳපලට පිවිසී ඇති එම සමාගම, තීරුබදු රහිත සාප්පුවේ නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද වරාය බලධාරීන් සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version