මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රීලන්කන් කළමනාකාරිත්වය ගැන කෝප් පැහැදෙයි

ශ්‍රීලන්කන් කළමනාකාරිත්වය ගැන කෝප් පැහැදෙයි

0
– අවුරුදු 3ක් භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන ශ්‍රීලන්කන් දුවපු හැටි සභාපති අශෝක් පතිරගේ කියයි

 

ශ්‍රීලන්කන් ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හෝ පෞද්ගලීකරණය කිරීමට ඉදිරියේ දී ගනු ලබන තීරණය කුමක් වුවත් එතෙක් ගුවන් සමාගම කුමන ආකාරයට කළමනාකරණය කළ යුතු ද යන්න ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා ඉතා පැහැදිලිව සඳහන් කළ බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනාගතය තීන්දු කිරීමට පෙර එතෙක් එම සමාගම කුමන ආකාරයෙන් වාණිජ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාගැනීම වෙනුවෙන් ඊයේ (27) එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා ඇතුළු එම සමාගමේ ඉහළ පෙළේ කළමනාකාරිත්වය, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබු අවස්ථාවේ කළ පැහැදිලි කිරීම් හමුවේ හෙතම මේ බව සඳහන් කළේය.

“ඉදිරියේ දී ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධ තීරණය කුමක් වුවද එතෙක් කල් ගුවන් සමාගම කුමන ආකාරයට කළමනාකරණය කළ යුතු ද යන්න පිළිබඳව සභාපතිතුමා (ශ්‍රීලන්කන්) පැහැදිලිව කිව්වා. ලොකු forecast එකකට කරන්න බෑ. නමුත් වසරෙන් වසර මේක කළමනාකරණය කරනවා. ලබන වසරේදී ඔවුන් ලාභ ලැබීමට ආ හැකි බව සඳහන් කරනු ලැබුවා” යැයි කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහි දී සඳහන් කළේය.

කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා – පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙහෙයුම් ලාභයක් ලබාගෙන තියෙනවා. එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සංචිත අලාභය වර්ධනය වෙමින් පවතිනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ත අලාභය සමස්ත රටවැසියන්ගෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් 32000ක් පමණ වෙනවා. මෙය තමයි ශ්‍රීලන්කන් ඉදිරි ගමන වෙනුවෙන් තිබෙන බාධකය. ලාභ නොලබන ආයතන සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගෙන තිබෙනවා. එහෙත් මෙය මෙහයෙවන ආයතන විධියට ඒ සම්බන්ධයෙන් ඔබෙන් විමසිය යුතුයි.

ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා- කොවිඩ් වසංගත කාලයේ දී අපට එන්ජින් සඳහා ගෙවීමට තිබූ මුදල් ආපසු ගෙවීම ප්‍රමාද වුණා. එම නිසා ඒ සඳහා අපට 18%ක් වැනි ඉහළ පොලීයක් ගෙවීමට සිදු වුණා. එය සමතයකට පත්කර ගැනීමට සැළකිය යුතු කාලයක් ගත වුණා. අප එකඟත්වයට පැමිණ ගිවිසුම්ගත වුණත් අපට රෝල්ස් රොයිස් සමාගමෙන් පහසුවෙන් එන්ජින් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එන්ජින් අවශ්‍යව පැවැති A-330 වර්ගයේ යානා කිහිපයක් එළැඹෙන සති 2 ක් තුළ නැවතත් පියාසර කරවීමට හැකියි.

පා.ම. චරිත හේරත් මහතා – දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ඉදිරිපත් වන ලේඛන මගින් විවිධ නිර්දේශ ඉදිරිපත්වෙමින් පවතිනවා.

ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා- පූර්ණ වශයෙන් පෞද්ගලීකරණය කිරීමක් පිළිබඳව වන සැළැස්ම සම්බන්ධයෙන් අපි එලෙස කරුණු දැන සිටියේ නැහැ. එහෙත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම ගැන රජය මේ වනවිට ශක්තිමත් ස්ථාවරයක සිටිනවා. අපට දැනෙන විදිහට අප සුදුසු පාර්ශවකරුවෙක් සොයාගත හොත් එය දීර්ඝ කාලීන තිරසර පැවැත්මට හොඳ පිටුබලයක්. ගුවන් සමාගම රජය සතුව පවතිනතාක් එයට බොහෝ දේශපාලනික ඇතුළු වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

පා.ම. අනුර ප්‍රියදර්ශන යාපා මහතා – පසුගිය කාලයේ සිදුවීම් දෙකක් වාර්තා වුණා. එක් ගුවන් යානයකට පැය 30 ප්‍රමාදයකට මුහුණ පෑමට සිදුවුණා. ඒ වගේම තවත් ඩුබායි බලා පියාසර කළ යානයකට කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක බලා නැවත පියාසර කරන්න සිදුවුණා.

ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා – ඕනෑම ගුවන් සමාගමකට මෙවැනි දේ සාමාන්‍ය සිදුවීම්. මට වැටහෙනවා එවැනි සිදුවීම් නොවිය යුතුයි. අප තවත් ගුවන් යානයක් යොමු කිරිමටත් පැය 20ක් පමණ ගත වෙනවා. මම හිතනවා අපට කළ හැකි හොඳම දේ අප කළා. ඒ වගේම ඔබ දන්නා පරිදි අපට සීමිත ගුවන් යානා සංඛ්‍යාවක් පමණයි තිබෙන්නෙ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස් රුවන් චන්ද්‍ර මහතා – අපේ අදහස ගුවන් සමාගම සතු ආයතන වෙන වෙනම පරිපාලනය විය යුතුයි කියලා. එහෙත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළා එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියල. ආයෝජකයකුට භාර දීම සුදුසුයි කියලා යෝජනා ඉදිරිපත් වුණත් මෙතෙක් අවසන් තීරණයකට එළැඹිලා නැහැ.

පා.ම. මධුර විතානගේ මහතා – හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කෝප් සභාපතිත්වය දරන සමයේ ඔබ ශ්‍රීලන්කන් වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කළා නේද ? ඒකට විශාල කළබලයක් ඇති කළා.

ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා – ඒ වෙලාවෙදි අපට ඒක කරන්න දුන්න නම් ඇත්තටම මිට වඩා අඩු මුදලකට ගුවන් යානා ගන්නත් තිබුණා. ගුවන් සමාගම මෙයට වඩා හොඳට කරන්නත් තිබුණා.ප්‍රමාද කරපු නිසා දැන් ගුවන් යානා ඉල්ලුම වැඩියි. ඊට වඩා වැඩි ගාණක් ගෙවනවා.

කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා – දැන් පවතින ප්‍රශ්නෙට මොකද්ද තියෙන විසඳුම?

ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා – ඊළඟ මාස 4-5 ඇතුළත අපි ගුවන් යානා 10ක් ලබා ගන්නවා. අඩුව පිරිවීම අපි කරනවා. චීනය වගේ රටවල් දැන් ඔවුන්ගේ දේශ සීමා විවෘත කරනවා සංචාරකයින් මෙරටට පැමිණිය යුතුයි. එය තමයි ජාතික ගුවන් සේවයේ වගකිම වන්නේත්. අප පසුගිය වසර දෙක තුනක කාලය තුළ රජයේ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිපාදනයක් ලබාගෙන නැහැ.අප සේවා ගෙන ගියේ අප උත්පාදනය කළ මුදල් ප්‍රවේශවලින්. ඒ වගේම අප කිසිදු රාජ්‍ය බැංකුවකින් උපකාර ලබාගෙනත් නැහැ. මොකද ඔවුනුත් එවැනි ස්ථාවරත්වයක සිටියේ නැහැ. අපි හිතනවා, රටේ සාමය තිබෙන තාක්, උද්ඝෝෂණ, ආදිය නොතිබෙනතාක් මෙය ලාභ ලැබිය හැකි මට්ටමට ගෙන ආ හැකියි කියලා. අපි එය බලාපොරොත්තු වෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම මේ මොහොතේ වඩාත් අවධානය යොමු කර ඇත්තේ, ලබන වසරේදී ගුවන් යානා ගණනාවක් මෙහෙයුම්වලින් ඉවත් වෙද්දීත්, පවතින ගුවන් යානාවලින් දැනට මෙහෙයුම් කරන ගමනාන්ත වෙත මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කළමානාකරණයය කරගෙන යාම පිළිබඳවයි. මෙහෙයුම් ව්‍යාප්ත කිරීමක් ලබන වසරේදී සිදුකිරීිමට අපි දැනට බලාපොරොත්තු වෙන්නේ නෑ. ගුවන් මෙහෙයුම්වලින් දැනටමත් ශ්‍රීලන්කන් ලාබ ලබනවා. එම ලාභවලින් ණය ගෙවීම් ද කරනවා.

පා.ම ශානක්කියන් රාසමාණික්කම් මහතා – ස්විස්ටර්ලන්තයේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් සේවා ඇරඹීමේ කිසියම් හැකියාවක් පවතිනවාද? දෙමළ ප්‍රජාව ගොඩක් සතුටුවෙයි එහෙම කරන්න පුළුවන් නම්.

ශ්‍රීලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා – ඇතැම් විට ඔබ දන්නවා ඇති ගෙවුණු වසර 3 තුළ අප අපගේ මෙහෙයුම් පුළුල් කළා. මොකද වසර 5කට 7කට පෙර තීරණයක් ගෙන ගමනාන්ත කිහිපයක් වසා දමා තිබුණා. අප ගමනාන්ත ගණනාවක් පුළුල් කළා. මොස්කව්, ෆ්රෑන්ක්ෆර්ට්, පැරීසිය ආදී ගමනාන්ත කීපයකම මෙහෙයුම් අපි වැඩි කළා. නමුත් ප්රශ්නේ තමයි, ඔබ දන්නවා මේ වනවිට අපේ පවතින තත්ත්වය. අපිව සීමා කරලා තියෙන්නෙ. අපගේ ප්‍රධාන විධායක නිලධාරීතුමා පැහැදිලි කළා වගේ චීනය ගැන හිතමු. දැන් චීනය වගේ තැන් යළි සංචාරයට විවෘත වෙමින් තියෙන්නෙ. අපිට වගකීමක් තියෙනවා ජාතික ගුවන් සේවය විදියට, ජාතික ආර්ථිකයට සහය වෙන්න. ඉතිං සංචාරකයෝත් එන්න ඕනේ. එය එක්තරා වගකීමක් ජාතික ගුවන් සේවය විදියට. විශේෂයෙන්ම ජාතික ගුවන් සේවය හැටියට. නමුත් පෞද්ගලික ගුවන් සේවයක් ඒක එහෙම කරන එකක් නෑ. මොකද පෞද්ගලික ගුවන් සේවයක් බලන්නේ අදාළ ගුවන් මාර්ගයේ ලාභය පිළිබඳව පමණමයි. අපිත් හරි නම් බලන්න ඕනේ 99%ක්ම ඒ විදියට තමයි. මොකද අපිත් රැකෙන්න ඕන.

ඒ වගේම මම මතක් කළ යුතුයි පසුගිය වසර දෙක තුනක කාලය තුළ අපි මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා ගත්තේ නෑ. අපි සියල්ල ඉටුකරගත්තේ අප විසින්මයි. අප උපයන මුදලින සහ හැමගේම සහයෙන්. අපි මහභාණ්ඩාගාරෙන් යැපුණෙ නෑ. අඩුම තරමේ ඩොලරයක්වත් අපි ගත්තෙ නෑ. අපි රජයේ බැංකුවකින්වත් උදව් ගත්තේ නෑ. මොකද ඔවුනුත් අපට උදව් කළ හැකි තැනක නැහැ. ඉතිං අපි ඇහුවෙත් නෑ. අපි දන්නවා ඇත්ත තත්ත්වෙ මොකක්ද කියලා. අපි හැමෝම දන්නවා මේක වාණිජ ව්‍යාපාරයක් විදිහට කළ යුතුයි කියලා. වාණිජමය ශක්යතාවයක් මෙහි තිබිය යුතුයි.

අපිට සිදුවෙනවා සමහර ගමනාන්ත කෙටි කරන්න. පැරීසිය ගත්තම සීසන් එක අතරතුර අපි පියාසර කරනවා. හැබැයි off season එකේදී අපිට සිද්ධ වෙනවා පියාසැරි ප්‍රමාණය අඩු කරන්න. එතකොට අපිට සිදුවෙනවා පැරීසිය, ෆ්රෑන්ක්ෆර්ට් ඒකාබද්ධ කරන්න. මෙවැනි තත්ත්වයක් තුළ දී තමයි අපට ක්‍රියා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිත් ආසයි ස්විස්ටර්ලන්තයට සෘජු ගුවන් වාර යොදන්න මගීන්ගේ සහයට. නමුත් ඉතාමෑතකදී අපට ඒ තීරණයට එන්න ඇතැම් විට බැරි වේවි.”යැයි හෙතම පැවසීය.

කොප් කමිටු සාකච්ඡාවෙහි වීඩියෝව පහතින්.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version