මුල් පිටුව special යෝධ පැන්ඩා ‘යා යා’ යළිත් මවුබිමට 

යෝධ පැන්ඩා ‘යා යා’ යළිත් මවුබිමට 

0

 
ඇමරිකාවේ මෙම්ෆිස් සත්වෝද්‍යානයේ වාසය කළ යෝධ පැන්ඩා ‘යා යා’ වසර 20 කට පසු යළි තම මවුබිමට පැමිණෙයි.  යා යා රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (27) පස්වරුවේ ෂැංහයි නගරය වෙත පැමිණියේ  පැය 16 කට ආසන්න පියාසැරියකින් පසුවයි.  

වෛද්‍ය අවශ්‍යතා කළමනාකරණය කරන පශු වෛද්‍යවරයකු සහ සියලු පාලන අවශ්‍යතා හසුරුවන සත්වෝද්‍යාන නිලධාරියෙකු ද මෙම යෝධ පැන්ඩා ධේනුව සමග පැමිණ තිබේ.  යා යා යෝධ පැන්ඩා ඇමරිකාවට ලබා දී තිබුණේ 20 වසරක ගිවිසුමක් අනුවයි.

යා යා උපත ලැබුවේ 2000 වසරේ අගෝස්තු 3 වැනි දා බෙයිජිං හි දීය.  1998 ජුලි 18 වන දින උපත ලැබූ පිරිමි පැන්ඩාවකු වූ Le Le සමග ඇය මෙම්ෆිස් වෙත යවනු ලැබූ අතර, Le Le ඉකුත් පෙබරවාරි මාසයේ දී මිය ගියේය.

සත්වෝද්‍යානය යා යා පැන්ඩා ධේනුව වෙනුවෙන් මේ මාසය මුල දී සමුගැනීමේ සාදයක් පැවැත්වීය. බලධාරීන් පැවසුවේ එහි කාර්ය මණ්ඩලයට සහ ප්‍රාදේශීය ජනතාවට ඇය නොමැති පාළුව දැඩි ලෙස දැනෙනු ඇති බවයි. ඇගේ නව නිවහනට සුබ පතන බව ද සත්වෝද්‍යානය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙයි.

වනයේ වෙසෙන යෝධ පැන්ඩා සතෙකුගේ ආයු අපේක්ෂාව වසර 15ක් පමණ වන නමුත් මිනිසුන් භාරයේ සිටින සතුන් අවුරුදු 38 ක් දක්වා ජීවත් වී ඇත. දශක ගණනාවක් වනයේ ක්‍රියාවට නැංවුණු සංරක්ෂණ ප්‍රයත්න සහ අධ්‍යයන මගින් යෝධ පැන්ඩා වඳවී යාමෙන් ගලවා ගනු ලැබීය. 
 

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version