මුල් පිටුව උණුසුම් පුවත් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් සේවා පාඨමාලා හැදෑරීමට අවස්ථාවක්

මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ගුවන් සේවා පාඨමාලා හැදෑරීමට අවස්ථාවක්

0

 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු පාසල වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් (SriLankan Aviation College) සහ ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් තාක්ෂණ විශ්ව විද්‍යාලයක් වන එම්බ්‍රි-රිඩ්ල් ගුවන් තාක්ෂණ විශ්ව විද්‍යාලය (Embry-Riddle Aeronautical University) අතර ඓතිහාසික ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදි.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ සහ කලාපයේ තවත් රටවල සිසු සිසුවියන්ට ලොව ඉහළම පිළිගැනීමක් සහිත ගුවන් සේවා පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් අදාළ පාඨමාලාවන් ශ්‍රී ලංකාව තුළදීම සම්පූර්ණ කිරීමට හැකි වන නිසා සිසුන්ට අවම වියදමකින් ක්ෂේත්‍රයේ ඉහළම සුදුසුකම් සපුරාලීමට අගනා අවස්ථාවක් හිමි වේ.

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හිදී සිසු සිසුවියන්ට ගුවන් සේවා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ගුවන් සේවා ප්‍රථම උපාධි සහතික පත්‍ර පාඨමාලාව මෙන්ම, එම්බ්‍රි-රිඩ්ල් විශ්ව විද්‍යාලයේ තවත් ජනප්‍රිය පාඨමාලා රැසක් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. එම්බ්‍රි-රිඩ්ල් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්, දේශන ශාලා තුළදී සහ මාර්ගගත ක්‍රමයට දේශන පවත්වන අතර, ඉල්ලීම් ලැබෙන ආකාරයට ඉදිරියේදී තවත් එම්බ්‍රි-රිඩ්ල් පාඨමාලා හඳුන්වා දීමට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් බලාපොරොත්තු වෙයි.

“මෙය කලාපයේ ගුවන් සේවා පාඨමාලාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ කලාපයේ ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට වඩාත් උසස් තත්වයේ දැනුමක් හා පුහුණුවක් ලබාදීමට අපට හැකි වනවා. ඉදිරියේදී ලොව පුරා ගුවන් සේවා ක්ෂේත්‍රය සැලකිය යුතු වර්ධනයක් අත්කරගනු ඇතැයි අනාවැකි පළ වී තිබෙන පසුබිමක් තුළ, මෙය අතිශය කාලෝචිත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් සිසුන්ට එම වර්ධනයෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීමට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසී ය.

“එම්බ්‍රි-රිඩ්ල් ගුවන් තාක්ෂණ විශ්ව විද්‍යාලය සමග ගිවිසුම්ගත වීමට හැකි වීම අපට මහත් සතුටක්. එම්බ්‍රි-රිඩ්ල් විශ්ව විද්‍යාලය ගුවන් සේවා සහ ගුවන් අවකාශයන් සම්බන්ධයෙන් ලොව ජනප්‍රියම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙනවා. මෙමගින් ගුවන් සේවා ක්ෂේත්‍රයට විවිධ පසුබිම්වලට අයත් දක්ෂයන් පිරිසක් හඳුන්වා දීමට අපට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා පැවසී ය.

එම්බ්‍රි-රිඩ්ල් විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් සහභාගී වන ‘Open Day’ වැඩසටහනක් 2023 මැයි 08 දින ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හිදී පැවැත්වෙන අතර, මේ පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ට එම වැඩසටහන සහභාගී විය හැක. එම වැඩසටහනට පෙර, 2023 මැයි 02 දින මූලික හඳුන්වා දීමේ සැසියක් මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර, එහිදීද එම්බ්‍රි-රිඩ්ල් විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් අදාළ පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරනු ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි නිල සමාජ මාධ්‍ය පිටු තුළ පළකෙරේ.ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් යනු වර්ණවත් ඉතිහාසයක් සහිත, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනවල සම්මාන හා ඇගයීම්වලින් පිදුම් ලැබූ අධ්‍යාපන ආයතනයකි. මේ වනවිට එය ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, සිසු සිසුවියන් සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් පරිපූර්ණ ගුවන් සේවා පුහුණු පාඨමාලා පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.srilankanaviationcollege.com වෙබ් අඩවියෙන් ලබාගත හැක.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version