මුල් පිටුව උණුසුම් පුවත් මෛත්‍රීට උසාවියේදී අවවාදයක්

මෛත්‍රීට උසාවියේදී අවවාදයක්

0

විවෘත අධිකරණයේ නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කර ඇතැයි වාර්තා වේ.

ඒ පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස 2019 දී සිදුවූ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීම අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

එම නඩුව අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිට ඇත.

එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි නීතිඥවරයා ඊට විරෝධතාව පළකර තිබේ.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව විත්තිය පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.

මේ අවස්ථාවේදී කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමට නියෝගයක් ලැබී ඇති මිසක ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවයි.

ඒ අනුව එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශ කර නැවත අඬගසන ලෙස අධිකරණ භාෂණ පරිවර්තකවරියට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

නඩුව දෙවන වර කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැඟ ඇත.

නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙත අවවාද කර තිබේ.

නඩුව ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු පුද්ගලයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version