මුල් පිටුව විශේෂාංග ඇරියස් කවර් කිරීම – සත්‍යගවේෂි ගේ තීරුව

ඇරියස් කවර් කිරීම – සත්‍යගවේෂි ගේ තීරුව

0

අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇරියස් කවර් කිරීම සිදු කරන්නෙමු. අපි ඇරියස් කවර් කිරීමට අපගේ මුළු දිවියම කැප කරන්නෙමු. අපේ කතාවන්හිද, හැසිරීම් වලින්ද නිරතුරුවම කෙතරම් දුරකට අපගේ ඇරියස් කවර් කරන්න මහන්සි වෙනවාද?

අපිට අපි වීමට කාල වේලාව නැත. හැමදාම අප සමග ඉන්නා ආදරණීයයන් සමග ඉන්නට වේලාවක් නැත. හති වැටෙමින් ඇරියස් කවර් කරන්නෙමු. හති වැටි වැටි ඇරියස් කවර් කරන්නෙමු.

කෙතරම් කවර් කලත් ඇරියස් කවර් කරන්න බැරිය. කවර් වෙන්න වෙන්න හිතන විට නැවතත් සිතට එන්නේ ඇරියස් ම ය. ඒ හිතේ හැටිය.

සමාජ මාධ්‍යයන්හි පෝස්ට් වල ඇත්තේද ඇරියස් කවර් කිරීමකි, බස් රියේ, කඩපිලේ, වැඩපොලේ ඇරියස් කවර් කිරීම්ද එමටය. නූගතා උගතා ගැන ද, උගතා නූගතා ගැනද, පොහොසතා දුප්පතා ගැනද, දුප්පතා පොහොසතා ගැනද, කළු එකා සුදු එකා ගැනද, සුදු එකා කළු එකා ගැනද ඉන්නේ අසහනෙනි. සැබවින්ම ඉන්නේ අසහනයෙන් ය !!!

තමන් අනුන් දිහා අසහනෙන් ඉන්නේ නම්, අසහනෙන් බලන්නේ නම්, තමනුත් යන්නේ ඇරියස් කවර් කිරීමටය. තමන් අනුන්ට සාපේක්ෂව සිතන්න ගත්විට අසහනෙන් පීඩිත වේ. අසහනයෙන් ම අසහන ගොහොරු මඩේ කරවටක් ගිලී යන්නෙමු. ඉන් මිදීමට නොව තව තවත් අසහන ගොහොරු මඩේ ගිලී යන කටයුතුම කරන්නෙමු.

සමාජයීය සත්වයකු වන මිනිසා නිතරම අනෙකා ගැන සොයා බලන්නේය. අනෙකා ගැන නිරතුරුව තර්ක විතර්කයෙහි යෙදීමෙන් ම අසහනයට පත් වන්නේය. අනෙකා විවේචනය කරන්නේ ය. අනෙකාව පහළ දැමීමටත් තමන් අනෙකාව කපා හෝ තමා ඉහල නැගීමටත් නිරතුරුවම කටයුතු යොදන්නේ ය. කපන්න බැරි අත සිඹින්නටත්, සිඹින්නේ නැති අත කපන්නටත් කටයුතු කරන්නෝ බොහෝමය. ඒ සඳහා සමාජ ආචාර ධර්ම නොසලකා හෝ කටයුතු කරන්නෝ ය.

අපි අපගේ මානසික අසහනය සමනය කිරීමට ඇරියස් කවර් කිරීමට තාවකාලික නිර්වින්දනයකින් කටයුතු කරන්නෙමු. එය අනෙකා බුලි (bullying) කිරීමෙන්, අපහාස උපහාසයට ලක් කිරීමෙන් හෝ යම් ආර්ථික, සමාජයීය හෝ සංස්කෘතිකව බලපාන හානියක් අනෙකාට සිදු කිරීමෙන් සිදු කරන්නෙමු. ඉන් අප්‍රමාණ වූ සතුටට පත්වන්නෙමු. එහි ආදීනව නොදැනීම හෝ නොසිතාම එසේ කරන්නේමු.

එහි ප්‍රතිඵල ඇරියස් කවර් කිරීමකින්ම පොලියක් සමග ලැබෙනු ඇත. ඇරියස් කවර් කරගැනීමට කෝපයෙන් හෝ ලෝභයෙන් කටයුතු කිරීමේදී අවසානයේ ඇති වන්නේ පසුතැවිල්ලක් පමණි. එය මෝහයයි. දේශපාලනඥයන්ද, ව්‍යාපාරිකයන්ද, විවිධ සංවිධානයන් සහ ජනමාධ්‍යයන් ද අපගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන බව නිරවුල් මනසකින් බලන විට අපිට ප්‍රත්‍යක්ෂ වේ.

Front view of two businessmen looking at each other with jealousy.

නිරපේක්ෂ ව සිතමු. නිරපේක්ෂ ව සිටිමු. නිරවුල් මනසකින් යුතුව වටපිට බලමු එමෙන්ම අපේ සිත ගැනත් එලෙසටම නිහඩව බලා සිටිමු. අසහනයත්, ඇරියස් කවර් කිරීමත් අපේ සිත වන මාරයාගේ මායාවන් නොවෙද? මාර ග්‍රහනයෙන් මිදීමත්, සසරෙන් එතෙර වීමත් කාටවත් කල නොහැක.

කල යුත්තේද, කල හැක්කේද තමන්ටම පමණි.

එඤ්ඤං,

මම,

සත්‍යගවේෂි.

සත්‍යගවේෂී

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version