මුල් පිටුව special ඇමරිකාවට වැඩිම හානියක් කළ ඔත්තුකාරියට නිදහස

ඇමරිකාවට වැඩිම හානියක් කළ ඔත්තුකාරියට නිදහස

0

ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත් එරට ඉතිහාසයේ හානිකරම ඔත්තුකාරියක් වූ ඇනා මොන්ටෙස් දශක දෙකකට පසු නිදහස ලබා තිබේ.

මේවන විට 65 හැවරදි වියේ පසුවන ඇය ඇමරිකානු බුද්ධි ඒජන්සියේ විශ්ලේෂකයෙකු ලෙස සේවය කරමින් කියුබාව වෙනුවෙන් ඔත්තු බැලීම සිදුකර තිබේ.

ඇය වසර 17කට ආසන්න කාලයක් කියුබාවට ඇමරිකානු බුද්ධි රහස් ලබාදීමට කටයුතු කළ අතර 2001 දී ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නිලධාරීන් පැවසුවේ ඇය කියුබාවට එක්සත් ජනපද බුද්ධි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පාහේ හෙළිදරව් කර ඇති බවයි.

මොන්ටෙස්ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එවකට එක් නිලධාරියෙක් පැවසුවේ එක්සත් ජනපදය විසින් අල්ලා ගන්නා ලද “වඩාත්ම හානිකර ඔත්තුකරුවන්” අතර ඇය සිටින බවයි.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ වෙනත් රටවල් ඇමරිකාව සම්බන්ධයෙන් දියත් කරන බුද්ධි මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලීමේ ප්‍රධානියා වූ මිචෙල් වැන් ක්ලීව් 2012 දී කොන්ග්‍රසයට පැවසුවේ මොන්ටෙස් ” අපි කියුබාව තුළ ක්‍රියා කළ ආකාරය ගැන සහ අපි කියුබාව ගැන දන්නා සෑම දෙයක්ම පාහේ කියුබාවට හෙලිකර ඇති” බවයි.

“එබැවින් කියුබානුවන් ඔවුන් ගැන අපි දන්නා සෑම දෙයක් ගැනම හොඳින් දැන සිටි අතර එය ඔවුන්ගේ වාසියට භාවිතා කළ තිබෙනවා. ඊට අමතරව, ඇයට බුද්ධි ඒජන්සියේ සගයන් සමඟ කළ සංවාදවලදී කියුබාව පිළිබඳ සිදු කළ ඇස්තමේන්තු වලට පවා බලපෑම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන්ද ක්ලීව් පවසා තිබිණි.

මොන්ටෙස් අත්අඩංගුවට ගැනීමෙන් පසු, එක්සත් ජනපද ඔත්තුකරුවන් හතර දෙනෙකුගේ අනන්‍යතා සහ තවත් රහසිගත් තොරතුරු විශාල ප්‍රමාණයක් කියුබාවට සැපයීම සම්බන්ධයෙන්ද ඇයට චෝදනා එල්ල විය.
ඒ අනුව ඇය “සමස්තයක් ලෙස ජාතියම” අනතුරේ හෙළන ලද බවට පවසමින් දඬුවම් නියම කළ විනිසුරු ඇයට ඇයට වසර 25 ක සිර දඬුවමක් නියම කළේය.

කෙසේ වෙතත්, සීතල යුද්ධයේ දී හසු වූ අනෙකුත් ඉහළ පෙළේ ඔත්තුකරුවන් මෙන් නොව, මොන්ටෙස් පොළඹවනු ලැබුවේ දෘෂ්ටිවාදයෙන් මිස පුද්ගලික වාසි වලින් නොවීම විශේෂත්වයක් විය. එහිදී ලතින් ඇමරිකාවේ කටයුතු වලට එවකට එක්සත් ජනපද රේගන් පරිපාලනය ගෙන ගිය ක්‍රියාකාරකම්වලට ඇය තුල තිබූ විරෝධය මත පදනම්ව ඇය කියුබානු ඔත්තු සේවා සඳහා වැඩ කිරීමට එකඟ වි තිබිණි.

විශේෂයෙන්ම, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් සොයාගනු ලැබුවේ, යුද අපරාධ සහ වෙනත් කුරිරුකම් සිදු කළ බවට සැක කෙරෙන දක්ෂිනාංශික කැරලිකාර කණ්ඩායමක් වන නිකරගුවා කොන්ට්‍රාස් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දීම ඇය කෝපයට පාත්‍ර වූ බවත් ඒ අනුව ඇය ඔත්තුකාරියක් ලෙස කටයුතු කිරීමට පෙළබුණු බවත්ය.
නිකරගුවාව සමව්බන්ධයෙන් එක්සත් ජනපද ක්‍රියා කළ ආකාරය පිළිබඳ කෝපය පත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සෙසු ශිෂ්‍යයෙක් 1984 දී මොන්ටෙස් හා සම්බන්ධ වී තිබිණි.
පසුව ඇයව කියුබානු ඔත්තු සේවා නියෝජිතයෙකුට හඳුන්වා දුන් අතර නිව් යෝර්ක් නගරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක දී ඇය “නිකරගුවාවට ‘උදව්’ කිරීම සඳහා කියුබානුවන් හරහා වැඩ කිරීමට නොපැකිලව එකඟ වූ බවට,” එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව පුහුණුවක් සඳහා ඊළඟ වසරේ ඇය හවානා වෙත ගිය පසු, ඇය කියුබානු ආරක්ෂක බුද්ධි ඒජන්සියට සම්බන්ධ වූ අතර, අවසානයේ ඇය කියුබාවේ කොමියුනිස්ට් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකු බවට පත් විය.

දශක දෙකකට ආසන්න කාලයක් ඇය වොෂින්ටන් ඩීසී අවන්හල්වලදී සති කිහිපයකට වරක් කියුබානු නියෝජිතයින් මුණගැසුණු අතර ඔවුන්ට පේජර් හරහා ඉතා රහසිගත තොරතුරු ඇතුළත් සංකේතාත්මක පණිවිඩ යැවීම සිදුකළාය. එහදී කෙටි රේඩියෝ පණිවුඩ හරහා ඇයට කියුබානු බුද්ධි අංශ වෙතින් උපදෙස් ලබාදීමද සිදුවිය.

මේ අතර 2001 සැප්තැම්බර් මාසයේදී රජයේ සේවකයෙකු කියුබාව වෙනුවෙන් ඔත්තු බලන බවට එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන්ට ඔත්තුවක් ලැබීමෙන් පසුව ඇයව ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබීය. ඇයව අත්අඩංගුවට ගත් FBI ඒජන්තවරියක් පැවසුවේ ඇයව අත්අඩංගුවට ගැනීමත් සමඟම ඇය කිසිදු හැඟීම් දැණීම් නොමැති දැඩි වේදනාවකට පවා නොසැලී ලෙස පෙනී සිටි බවයි.

මොන්ටෙස් හට නිදහස් වීමෙන් පසු වසර පහක් අධීක්ෂණය යටතේ සිටීමට සිදුවන ඇති අතර ඇයගේ අන්තර්ජාල භාවිතයද නිරීක්ෂණය කරනු ඇත. ඇයට රජයේ සේවයේ යෙදීම හෝ අවසරයකින් තොරව විදේශ නියෝජිතයන් සම්බන්ධ කර ගැනීම ද තහනම් වනු ඇත.

නමුත් මොන් අත්අඩංගුවට ගත් FBI නියෝජිතයෙකු වන පීට් ලැප් සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ ඇය කියුබානු නියෝජිතයන් සමඟ සබඳතා නැවත ඇති කර ගැනීමට උත්සාහ කරනු ඇතැයි සිතිය නොහැකි බවයි.

“ඇගේ ජීවිතයේ එම කොටස අවසන් වී ඇත. ඇය ඔවුන් වෙනුවෙන් කළ දේ දැන් අවසන්. ඇය යලිත් ඇගේ නිදහස අවදානමට ලක් කරයි කියා මම සිතන්නේ නැහැ.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version