මුල් පිටුව special 2023 නව වසර අපි උත්සාහයෙන් සාර්ථක කර ගනිමු!

2023 නව වසර අපි උත්සාහයෙන් සාර්ථක කර ගනිමු!

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කාලාම් මහතා නිතර පැවසූ පරිද්දෙන් ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට නම් පහත කරුණු සිදු කළ යුතුය.

1. ඔබ ශ්‍රේෂ්ඨ විශාල ඉලක්කයක් හඹා යා යුතුය.

(ඉලක්කය ශ්‍රේෂ්ඨ වන්නේ ඉලක්කය ආත්මාර්ථකාමී එකක් නොව පරාර්ථය ගැබ් වූ එකක් වන්නේ නම් ය)

2. ඔබ නිරන්තරයෙන් දැනුම ඒකරාශී කිරීමේ නියුක්ත විය යුතුය.

3. ඔබ මහන්සි වී වැඩ කළ යුතුය (Hard work). මහන්සි වී කරන වැඩ පහසුවෙන් කරන විධික්‍රම (smart work) ද පාවිච්චි කළ යුතුය.

4. දුෂ්කරතා හමුවේ පසුනොබැස දරාගෙන සටන් කළ යුතුය. (Perseverance)

ජීවිතයේ ප්‍රශ්න කරදර බාධක කම්කටොලු අනිවාර්යයෙන් පැමිණේ. ඔබ ඒවායේ සිරකරුවෙක් නොවිය යුතුය. ඔබ සටන් කර ප්‍රශ්න පරාජය කළ යුතුය.

ලාභ අලාභ අයස යසස නින්දා ප්‍රශංසා සැප දුක ආදී අටලෝදහමින් කම්පා නොවන මෙන් බුදුන්වහන්සේ උගන්වා වදාළ සේක.

ජීවිතයේ ඔබට ලැබුණ දේවල් ගැන ස්තූතිවන්ත වන්න. ඔබට වඩා අඩුවෙන් ලැබුණ අය ඕනෑතරම් සිටිති.

එමෙන්ම ජයග්‍රහණයන්ට වඩා පරාජයන් වැදගත් බව ඔබ මතක තබා ගත යුතුය.

පරාජයන්ගෙන් දේවල් ඉගෙන ගත හැකිය. යමක් නැති වූ විට ඔබ එහි වටිනාකම උගනී.

සියල්ල නැති වුවත් ඔබ උගත් දේ නැති වන්නේ නැත. උගත් දේද අහිමි වුවහොත්, සියල්ලට ප්‍රථමයෙන් එය පෙරළා ලබා ගැනීම වැදගත් ය. මන්දයත් එය අන් දේවල් වලට වඩා වැදගත් හෙයිනි.

පහත උපදේශය සමගින් මේ සටහන සමාප්ත කරන්නෙමි.

හැම කෙනෙකුටම ලෝක දෙකක් තියෙනවා.

මගේ ලෝකය සහ බාහිර ලෝකය.

බාහිර ලෝකයේ තියෙන දේවල් හේතුවෙන් සතුට හෝ දුක හෝ උපේක්ෂාව, සිතේ ජනිත කරවනවා කියලා අපි හිතනවා.

ඒක බොරුවක් නෙවෙයි.

ඒත්,

බාහිර ලෝකයේ තියෙන දුක ඇති කරවන පොඩි දේවල් පවා අපි හිතින් හිතලා විසාල කරගන්නවා.

සතුට ඇති කරවන දේවල් ඉක්මනින් අමතක වුණත් දුක ඇති කරවන දේවල් අල්ලාගෙන හිත පාරවා ගන්නවා.

මේ ගතිය අතහැර දැම්මොත්…

දුක හා සතුට නිසි ප්‍රමාණයෙන් විඳින්න අපිට පුළුවන්.

එහෙම විඳින ගමන්,

සතුට ඇති කරවන දේවල් ගැන වැඩිපුර හිතමින්, ඒවා අගය කරමින්, ඒවා ලැබීම සම්බන්ධයෙන් දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් ජීවත් වුණොත්, ජීවිතයේ සතුට උතුරා යනවා.

එහෙම සතුටින් ජීවත් වෙන මිනිස්සු වැඩි වුණොත් රට සුරපුරයක් වෙනවා.

“සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ…”

නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version