මුල් පිටුව උණුසුම් පුවත් සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් අවසන් මහා තරගයට

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් අවසන් මහා තරගයට

0

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ පෙරළකාර ජයක් වාර්තා කරමින් කැන්ඩි ෆැල්කන් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කළ සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම අද (23) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කැන්ඩි ෆැල්කන් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට නායක වනිදු හසරංග පිත්තෙන් දස්කම් දැක්වුවත් සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පන්දුවෙන් ඉටු කළ මෙහෙවර වනිදු හසරංගට ඊයේ රාත්‍රියේ පන්දුවෙන් ඉටු කළ නොහැකි විය.

කාසියේ වාසිය දිනු සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිවුස් පළමුව පන්දුවට පහරදීමේ වාරය කැන්ඩි ෆැල්කන් කණ්ඩායමට භාර කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය. වේගවත් හා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු තිස් හතරකදී ලකුණු 77ක් ලබා ගත්තේය. ඊට හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් අටක් අන්තර්ගත විය.

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටුකළ වේග පන්දු යනව ක්‍රීඩක කසුන් රාජිත සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 20කට කඩුලු 4ක් දවාලීය. රාජිත ගේ පන්දු යැවීම හමුවේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙනගිය චරිත් අසලංක පන්දු හතළිහක දී ලකුණු 64ක් ලබා ගත්තේය. එම ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 7ක් අන්තර්ගත විය. දිනේෂ් චන්දිමාල් 38(33)යි. ඇන්ජලෝ මැතිවුස් 21(13)* සහ රවි බොපාරා 29(16)* නොදැවී ක්‍රීඩා කරමින් සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගයේ වීරයා කසුන් රාජිතට හිමිවිය. ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් අතර අවසන් මහා තරගය අද රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

කැන්ඩි ෆැල්කන් 168/6 (20)

සොෆ්ට්ලොජික් කළම්බො ස්ටාර්ස් 169/4 (18.5)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version