මුල් පිටුව උණුසුම් පුවත් මාස 4ක් තුළ ජනපති ලොකු ප්ලෑනක් ඉල්ලයි

මාස 4ක් තුළ ජනපති ලොකු ප්ලෑනක් ඉල්ලයි

0

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට මාස 4ක් තුළ සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව එම සැලැස්ම සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සාකච්ඡාවේ දී ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

“ඇල්ල කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව එකතුව නිර්මාණය කරගත් සංචාරක කලාපයක්. එය දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. නව සුවිසල් සංවර්ධන සැලැස්මක් අනුව මේ සංචාරක කලාපය දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි මතුව ඇති ගැටළු සඳහා කෙටි කාලීන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.

අද මාලදිවයිනට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 500ක් පමණ වියදම් කරනවා . හැබැයි ඇල්ල ප්‍රදේශයට එන විදෙස් සංචාරකයෙක් දිනකට වියදම් කරන්නේ ඩොලර් විස්සයි. මේ තත්ත්වය අපි වෙනස් කළයුතුයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යයි. පසුගිය කොරෝනා වසංගත සමයේ පළපුරුදු සංචාරක සේවකයන් රට අත්හැර ගියා. ඒ අය ඉතා හොඳ අත්දැකීම් තිබෙන ‍සේවකයින්.සංචාරකයින් පැමිණෙන්නේ හොඳ සේවාවක් අපේක්ෂාවෙනුයි. එම සංචාරකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපට පුහුණු සේවකයින් අවශ්‍ය වෙනවා.

මේ සුවිසල් සංවර්ධන වැඩසටහන යටතේ විශිෂ්ඨ සංචාරක සේවාවක් ඇතිකිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම ඌව පළාතට එන සංචාරකයින් අවම වශයෙන් දින 07ක්වත් මෙහි රඳවා ගැනීමට හැකිවන පරිදි අපි නව සැලසුම් සකස් කළ යුතුයි.

ඒ වගේම නැගෙනහිර පළාතට පැමිණෙන සංචාරකයින් ඉන් අනතුරුව ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවෙළක් සකස් කළ යුතුයි. මත්තල ගුවන්තොටුපල දියුණු කර මත්තලින් මෙරටට පැමිණෙන සංචාරකයින් කෙලින්ම ඇල්ලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් අපගේ නව සංවර්ධන සැලැස්මට ඇතුළත් විය යුතුයි. මෙම සැලසුම් කෙටිකාලිනව සහ දිගුකාලීනවත් මෙරට ආර්ථිකයේ දියුණුවට බලපානවා.

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කරනවා වගේම මෙරට බැංකු ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අපි කටයුතු කළ යුතුයි. බැංකු පද්ධතිය කඩා වැටුණොත් සංචාරකයන් අපේ රටට එන්නේ නෑ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව සතුව තිබෙනවා. අපි එය ඉටු කරනවා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version