මුල් පිටුව උණුසුම් පුවත් කතුන් දෙදෙනෙකුට අරියාදු කළ කාකි කෝට්කරුවන්ට එරෙහිව විමර්ශනයක්

කතුන් දෙදෙනෙකුට අරියාදු කළ කාකි කෝට්කරුවන්ට එරෙහිව විමර්ශනයක්

0

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදගේ සහ සිරිධම්ම හිමි නිදහස්කරන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනක් විසින් ආරම්භ කළ සාමකාමී පාගමනකට පොලීසිය විසින් බාධා කිරීම හා එම කාන්තාවන් ඇතුළු පොලිස් කාන්තා නිලධාරිනියන්ට එහිදී උසස් පොලිස් නිලධාරියෙක් විසින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (13) ම එම පරීක්ෂණය ආරම්භකර ඇත.

පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් එම විමර්ශනය පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පත්කර ඇත.

කාන්තාවන් දෙදෙනකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාමකාමී විරෝධතා පාගමන කළුතරින් පොලීසිය නැවැත්වීමට උත්සහ ගැනීම කෙරෙහිද මෙම විමර්ශනයේදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.

එසේම එහිදී පොලිස් නිිලධාරියෙකු කාන්තාවකට පහරදී ඇති බවත් ඒ ගැනද විමර්ශනයට ලක්වන බව ද උසස් නිලධාරියෙක් පැවසීය.

කළුතරින් පොලීසිය විසින් එම පාගමන නතර කිරීමෙන් අනතුරුව එම කාන්තාවන් දෙදෙනා බස් රථයකට ගොඩවී ගමන් කර ඇති බවත් පානදුර දී එම බස් රථය නතරකර එම කාන්තාවන් දෙදෙනාව ප්‍රශ්න කිරීමට යැයි කියා පොලීසිය බස් රථයෙන් බස්සවා ඇති බවටත් පොලීසියට එරෙහිව චෝදනා එල්ලවී ඇත. අනතුරුව පොලීසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

බස් රථයෙන් බස්සවාගත් එම කාන්තාවන් දෙදෙනාව පොලිස් රථයට නන්වා ගැනීම සඳහා කාන්තා නිලධාරිනියන් ඉදිරිපත් නොවී සිටියදී එම කාන්තා නිලධාරිනියන්ගේ බෙල්ලෙන් අල්ලා ඒ අයව ඉදිරියට තල්ලුකර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පිංතු මහතාය.

ලැබූ පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව ද පොලිස් මූලස්ථානයේ තොරතුරු අනාවරණය කළේය.

මෙම පාගමන නැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් පොලීසියට නොතිබුණු බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා එම කාන්තාවන් දෙදෙනාව නතර කරමින් පොලීසිය කර ඇත්තේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමක් මෙන්ම අනවශ්‍ය කටයුත්තක් බවද එම නිලධාරියා සඳහන් කළේය. මෙම කටයුත්ත කර ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකු ගේ නියෝගයකින් බවද පෙනී ගොස් ඇත. එම නිලධාරියා අරගලකරුවන් සමඟ යම් වෛරයකින් පසුවන්නෙක් බවත් පොලිස්පති සිහිනයෙන් පෙළෙන්නකේ බවත් පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version