මුල් පිටුව උණුසුම් පුවත් අමෙරිකාවෙන් ආ සිවිල් ඉංජිනේරුවරයා මරා වලදැමූ සේවකයාත් ගෙල වැළලාගනී

අමෙරිකාවෙන් ආ සිවිල් ඉංජිනේරුවරයා මරා වලදැමූ සේවකයාත් ගෙල වැළලාගනී

0
Yellow crime scene do not cross barrier tape in front of defocused background. Horizontal composition with selective focus and copy space.

අමෙරිකානු පුරවැසිභාවය ලද සිවිල් ඉංජිනේරුවරයෙකුව ඝාතනයකර වලදැමූ නිවසේ මෙහෙකරු එම ඝාතනයෙන් සති තුනකට පසු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මැල්සිරිපුර රේස්වත්තේ පදිංචිව සිටි චිත්‍රානන්ද ජයරත්න නැමැති 70 වියැති සිවිල් ඉංජිනේරුවරයෙක් මෙසේ ඝාතනය වී ඇත. මෙම පුද්ගලයාගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි රේස්වත්තේ පිහිටි ගෙවත්තේ කෙසෙල් කොරටුවක වලදමා තිබියදී පොලීසිය අද සොයාගත්තේය.

මෙම සිවිල් ඉංජිනේරුවරයා වසර තිහ හතලිහක පමණ කාලයක් අමෙරිකාවේ පදිංචිව සිටියෙකි. මෙරටට පැමිණ ඇත්තේ සිය ජීවිතයේ අවසන් කාලය ගත කිරීමේ අරමුණ ඇතිබවය. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ඔහු අවිවාහකයෙක් බවත් විනෝදකාමී පුද්ගලයෙක් බවත්ය. මෙම සිවිල් ඉංජිනේරුවරයා සිය දෙමාපියන්ගෙන් උරුම වූ ගරාවැටෙමින් ඇති මහ ගෙදරට වී හුදෙකලාව ජීවත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

වැල්ලව පදිංචි පුද්ගලයෙක් මෑතකාලයේදී මෙම සිවිල් ඉංජිනේරුවරයාට හිතවත්කම් පා ඇති බවත් ඔහු පසුව මෙම නිවසේ මෙහෙකරුවෙක් ලෙස සේවයට එක්ව ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මෙම මෙහෙකරුවා පසුගිය 08 වෙනිදා මැල්සිරිපුර පොලිස් ස්ථානයට පැමිණ නිවෙස් හිමි සිවිල් ඉංජිනේරුවරයා පසුගිය 01 වෙනිදා අනුරාධපුරයේ ගිය බවත් මෙතෙක් ඔහු නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පොලීසිය කියයි. එම මෙහෙකරු ඊයේ සිවිල් ඉංජිනේරුවරයාගේ නිවසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවද පොලීසිය සදහන් කළේය. දින දෙකකට පමණ පෙර එම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

පොලීසිය මෙම සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් අද උදෑසන සිට විමර්ශන පවත්වන විට වත්තේ කෙසෙල් පදුරක් අසල වලක් හාරා වසා ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී දැඩි දුඟදක් හමා ඇති බවත් ඒ ගැන කෙරුණු විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එහි වලදමා ඇත්තේ නිවෙස්හිමි සිවිල් ඉංජිනේරුවරයා බවය.

මෙහෙකරුවා විසින් ඔහුව ඝාතනයකර ඇති බව මේ වන විට සැකයට තුඩුදී ඇති කරුණක් බව පොලීසිය කියයි. සිවිල් ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම ගැන කළ පැමිණිල්ලෙන් පසු ඔහුගෙන් දිගින් දිගටම පොලීසිය ප්‍රශ්න කිරීම හේතුවෙන් බියට පත්ව ඔහු සිය දිවි හානිකර ගන්නට ඇති බව පොලීසිය සැකකරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version