මුල් පිටුව උණුසුම් පුවත් ඇමරිකාවේ ‘Heart to Heart’ වෙතින් රුපියල් බිලියන 3ක හදිසි වෛද්‍යාධාර ලංකාවට

ඇමරිකාවේ ‘Heart to Heart’ වෙතින් රුපියල් බිලියන 3ක හදිසි වෛද්‍යාධාර ලංකාවට

0

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිළිගත් ගෝලීය මානුෂීය ආයතනයක් වන ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් මෙරිකානු ඩොලර් 8,222,898.78 ක් (රුපියල් බිලියන තුනක් පමණ) වටිනා හදිසි වෛද්‍ය ආධාර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත එවීමට රජයේ අනුමැතිය ලබාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව මෙම වෛද්‍යාධාර තොගය ඉතා ඉක්මනින් ගුවන්ගත කිරීමට මේ සතියේ සිට පියවර ගෙන ඇත.

පළමු පරිත්‍යාගය පරිදිම එහි සියලු වියදම් ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් දරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකීය ජනතාව අතර නොමිලේ බෙදාහැරීම සදහා මෙම වෛද්‍ය සැපයුම් තොගය භාරගනු ඇත.

පසුගිය මාසයේදී ද අමෙරිකානු ඩොලර් 908,547ක් (රු. 326,077,518.30) වටිනා පළමු වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලදී.

එය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් බෙදාහැරීමේ කටයුතු සදහා පසුගිය ජුලි මස 13 වන දින භාරගන්නා ලදී.

මෙම හදිසි ආධාර ලබාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වෛද්‍ය සැපයුම් තොගයෙහි, ලංකාවේ දැනට හිඟව පවතින අත්‍යාවශ්‍ය වේදනා නාශක, ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලොරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆෙක්සින් වැනි ප්‍රතිජීවක ඖෂධ අඩංගුව ඇත.

මේ දක්වා හාර්ට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය විසින් ඇ.ඩො. 9,131,445.78ක් (රු. 3,378,366.31ක්) වටිනා හදිසි වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.

රට අසීරු තත්වයක පවතින මෙවන් මොහොතක, එහි ජනතාව වෙත ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් කරන ලද පරිත්‍යාගය වෙනුවෙන් හාර්ට් ටු හාර්ට් ආයතනයේ ප්‍රධාන කළමණාකරු කිම් කැරොල් සමග ජුලි 22 වනදින පැවැති හමුවේදී, තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් සිය කෘතඥතාවය පලකර සිටින ලදී.

ඇමරිකාවේ ලෙනෙක්සා මූලස්ථානය කොටගත් හාර්ට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය, ගෝලීය සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගත් මානුෂීය කටයුතු වෙනුවෙන් වර්ෂ 1992 සිට කටයුතු කරන ආයතනයකි.

මේ වන විට ඇ.ඩො. බිලියන 2.5ක වෛද්‍ය ආධාර රටවල් 130කට අධික සංඛ්‍යාවක් වෙත සපයා ඇත.

මෙම ආයතනය දේශිය හා විදේශීය වශයෙන් සිදුවන ස්වභාවික ආපදා වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් ඒ සදහා වෛද්‍ය සහනාධාර සහ ජංගම ස්වේච්ඡා සේවාවන් සපයා ඇත.

මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් සහ BBB ට ඒකාබද්ධ ආයතනයක් වන අතර ‘Philanthropy 44’ යටතේ ශ්‍රේණිගත කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version