මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් බියෙන් උණුසුම් වූ බිංගිරිය

කොවිඩ් බියෙන් උණුසුම් වූ බිංගිරිය

0

බිංගිරිය විලත්තව ප්‍රදේශයේ පිහිටි ඇගුළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් බහුල වශයෙන් හමුවීමට පටන්ගෙන ඇති බැවින් එම කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට බල කරමින් ගම්වැසියන් අද (26) එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.

කොවිඩ් ආසාදිතයින් 142 දෙදෙනෙක් මෙම කර්මාන්ත ශාලාවෙන් ඊයේ (25) වන විට හමුවී ඇතැයි ගම්වැසියන් සදහන් කරයි. උතුරුමැද සහ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සදහන් කරනු ලැබුවේ මෙම කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇතත් එය එතරම් විශාල පොකුරක් නොවන බවය.

ගම්වැසියන් බියක් දක්වන්නේ කොවිඩ් වෛරසය කර්මාන්ත ශාලාවෙන් ගම්මානයට බෝවීමේ අවදානමක් ඇතිවේ යැයි කියා බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ත මහතා පැවැසීය. කර්මාන්ත ශාලාව වසන්නැයි පොලීසියට නියෝග කරන්නට හැකියාවක් නොමැති බවත් එය තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. එබැවින් ගම්වැසියන්ට පොලීසිය පැත්තෙන් ලබාදුන් උපදෙස වූයේ බියක් තිබේ නම් එම කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටින ගම්වැසියන්ට සේවයට නොයන ලෙස යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

පැවති උණුසුම් තත්වය හේතුකොටගෙන බිංගිරිය පොලිස් ස්ථානයේ නිලදාරීන්ට අමතරව දුම්මලසූරිය, හෙට්ටිපොල යන පොලිස් ස්ථානවලින්ද අමතර කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කැදවා තිබුණි. එහෙත් පොලීසිය විසින් කරුණු පැහැදිලිකර දීමෙන් අනතුරුව ගම්වැසියන් විසිර ගිය බව නියෝජ්‍ය පොලිස්පති අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version