මුල් පිටුව උණුසුම් පුවත් ගෝල්ෆේස් ප්‍රහාරය වැලැක්වීමට නිසි වේලාවට ඉහළින් පහළට නියෝග ලැබී නැතැයි පොලිස් ලොක්කෙක්...

ගෝල්ෆේස් ප්‍රහාරය වැලැක්වීමට නිසි වේලාවට ඉහළින් පහළට නියෝග ලැබී නැතැයි පොලිස් ලොක්කෙක් සී.අයි.ඩී.යට කියයි

0

ගාලුමුවදොර අරගල භූමියට ඉකුතුත් 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරය වැලැක්වීමට පූර්ව සූදානමක් පොලීසියට නොතිබුණු බව එම ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ආරක්ෂාව භාරව සිටි පොලිස් ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

විශේෂඥ සාක්ෂියක් ලෙස ඔහුගෙන් එම ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත්තේ පෙරේදා (17) දාය. පෙරවරු 9.00 සිට සවස 5.30 පමණ වන තුරු පැය අටහාමාරක පමණ කාලයක් ඔහුගේ ප්‍රකාශය ලබාගෙන ඇත. පිටු 20 ක පමණ ප්‍රමාණයක් එම ප්‍රකාශය ඇතුලත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී භූමියේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පැවති තත්ත්වය අවබෝධකර ගනිමින් නිසි වේලාවට ඔහු යටතේ සිටි නිලධාරීන්ට පහරදීමට පැමිණෙන පිරිස් විසුරුවා හැරීමට එදින නියෝගයක් ලබාදුන්නේ නම් එදින රටපුරා ඇතිවූ අවාසනාවන්ත සිදුවීම් කිසිවක් ඇති නොවන බවද චම්පික සිරිවර්ධන මහතා සිය කටඋත්තරයෙන් පෙන්වා දී තිබේ.

ජල ප්‍රහාර හෝ කදුළු ගෑස් තමාගේ නියෝගයක් නොමැතිව එල්ලනොකරන ලෙස එදින උදෑසන කොළඹ පොලිස් ප්‍රධානීන්ට අදාල නිලධාරියා විසින් නියෝගයක් ලෙස දැනුම් දී තිබීම නිසා එකී නිලධාරියාගේ නියෝග නොමැතිව පොලිස් නිලධාරීන් අවසාන මොහොතේ අසරණව සිටි බවද චම්පික සිරිවර්ධන මහතාගේ ප්‍රකාශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

තමාට වඩා ඉහළ නිලධාරියෙක් වැරදි නියෝගයක් ලබාදෙන්නේ නම් එම වැරදි නියෝගය පිළි ගැනීමට පොලිස් නිලධාරියා බැදී නැති බව පෙන්වාදෙමින් ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුව පවා චම්පික සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ගාලුපාර ඔස්සේ ගාලුමුදොර දෙසට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසට ගාලුමුවදොරට ඇතුළුවීමට ඉඩ දෙන්නැයි යම් නිලධාරියෙක් වැරදි නියෝග දුන්නේ නම් එය ඉටු කිරීමට දඩුවම් ලැබිය හැකි වරදක් වනු ඇති බවය.

අමෙරිකානු මධ්‍යස්ථානය අසලින් මාර්ග බාධකයක් දැමුවේ නම් එදා අරලියගහ මන්දිරය දෙසින් පැමිණි පිරිස් නතර කිරීමට පහසුවෙන්ම හැකියාවක් තිබුණු බව පෙන්වා දෙමින් චමිපික සිරිවර්ධන මහතා සඳහන්කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version