මුල් පිටුව උණුසුම් පුවත් කොවිඩ් අරමුදලේ සල්ලිවලින් ඖෂධ ගෙන්වන්න ජනපති උපදෙස්

කොවිඩ් අරමුදලේ සල්ලිවලින් ඖෂධ ගෙන්වන්න ජනපති උපදෙස්

0
gotabaya rajapaksa

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී ති‍බේ.

කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබි තිබූ අතර මේ වනවිට රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇත.

එබැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ය.

රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බව නිලධාරීහු සඳහන් කළහ.

සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවති. යෝජිත අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇත. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථාතත්ත්වයට පත්වනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version