මුල් පිටුව උණුසුම් පුවත් මහා බැංකුවේ කටයුතු දේශපාලනයෙන් තොරව කරගෙන යන්නට ජනපතිගෙන් සහතිකයක්

මහා බැංකුවේ කටයුතු දේශපාලනයෙන් තොරව කරගෙන යන්නට ජනපතිගෙන් සහතිකයක්

0

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවේ අද සඳහන් කළේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධධ මහත්වරුන් සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ජනාධිපති මේ බව සඳහන් කර තිබේ.

මහබැංකු අධිපතිලෙස පත්ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ පැසසුමට මෙහිදී ලක්ව ඇත. ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී ජනාධිපතතිවරයාට පවසා තිබේ. උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ වීරසිංහ මහතා විසින් පැහැදිලි කරදෙනු ලැබිණ.

දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්‍රියාදාමය ඉදිරියටත් කරගෙන යාමට රජය සහාය වන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ වන විට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළබවත්, නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදුකරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත්වීමට තමා සූදානම් බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version