මුල් පිටුව ජීවන රටාව විෂ සහිත සබඳතා හඳුනාගනිමු …

විෂ සහිත සබඳතා හඳුනාගනිමු …

සාර්ථක ජිවිතයක පදනම පුද්ගල  සබඳතාවයන් මත රඳා පවතින්නකි.කුඩා අවධියේ සිට මහලු විය දක්වා නොයෙකුත් අන්දමේ සම්බන්ධතාවයන් ඔස්සේ මිනිස් දිවිය ගලා යයි.සමහරක් සබඳතාවන් තුළින් තුළින් සාර්ථකත්වය ලබා දුන්නද  බොහෝ සබඳතාවන් තුළින් ලැබෙනුයේ පීඩාව හා අසාර්ථකත්වයි. එබඳු සබඳතා”විෂ සහිත සබඳතා”(Toxic relationships) වශයෙන් හඳුනා ගැනීමට පුළුවන.

විෂසහිත සබඳතාවකින් ඔබට සහයෝගී නොවන, වැරදි ලෙස වටහා ගත්,අවතක්සේරුවට  ලක් වූ හෝ පීඩාවට පත්වූ හැඟීමක් හිමිවේ. කෙටියෙන්ම පවසන්නේ නම්  ඔබගේ ශාරීරික හෝ මානසික  යහ පැවැත්මට හානි කරන හෝ තර්ජනයක් ඇති කරන  හා පීඩාවක් ගෙන දෙන ඕනෑම අන්දමක සබඳතාවක් ” විෂ සහිත සබඳතාවකි.”මෙබඳු සබඳතා වල ලක්ෂණයන් ඔබගේ පවුල තුළ,ඇසුරු කරන යහළු මිත්‍රාදීන් තුළ,රැකියා ස්ථානයේ ඔබ ඇසුරු කරන්නන් හෝ  ඔබගේ සහකරු හෝ සහකාරිය තුළ තිබීමට පුළුවන.

යම්කිසි මානසිකමය රෝගී තත්වයන්  ( bipolarMajor depression) හේතුවෙන් හෝ වෙනත් යම් කිසි කාරණාවන් පදනම් කරගනිමින් සෘණාත්මක හා විනාශකාරී අදහස් දරන පුද්ගලයන්  හා අන්තර් සබඳතා පැවැත්වීම තුළින් ගොඩනැගෙන මෙම විෂ සහිත සබඳතාවන් තුළින්ඉතා හානිකර තත්ත්වයන් උද්ගතවේ.එසේම මෙම විෂ සහිත පුද්ගලයන්  ගේ පහසු ඉලක්කයන් වන්නේ මානසික සමබරතාවය ගිලිහී ගිය හෝ සෘණාත්මක අදහස් දරන පුද්ගලයන් ය.

 

විෂ සහිත සබඳතාවක ලක්ෂණ.

යම් සබඳතාවක ප්‍රතිඵලයක් වශයෙන් හොඳට වඩා නරක ලක්ෂණ පවතින්නේ නම් සහ එම සබඳතාව තුළින් අඛණ්ඩව ඔබගේ ශාරීරික හා මානසික යහපැවැත්මට  හානිදායක තත්ත්වයක් ඇතිකරන්නේ නම්,එය විෂ සහිත සබඳතාවක මූලිකම ලක්ෂණය යි. සබඳතාවය තුළ දී ශාරීරික හා මානසික හිංසනයන් හා අවභාවිතයන් ද විෂ සහිත සබඳතාවක පවතින අනිවාර්ය ලක්ෂණයකි. මෙබඳු සබඳතාවක දී

  • ඔබට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි යමක් ඔබ ලබාදෙයි, එය ඔබව අව ප්‍රමාණය වී ඇති බවක් දනවයි.
  • ඔබට නිරන්තරයෙන් අගෞරව කිරීමක් හෝ ඔබගේ අවශ්‍යතා ඉටු නොවන බවක් හැගේ.
  • කාලයත් සමගම ඔබට ඔබේ ආත්ම ආත්මාභිමානය නැතිව යයි.
  • ඔබට සහාය නොදක්වන බවක්, වරදවා වටහාගෙන ඇති බවක්, පහත් කොට සැලකීමක් සිදු කරන බව දැනීම.
  • අනෙක් පුද්ගලයා සමග සමග කතා කිරීම හෝ ගනුදෙනු කිරීමෙන් පසුව ඔබට මානසික අවපීඩනය, කෝපය හෝ වෙහෙස දැනීම.
  • එකිනෙකා තුළ ඇති නරකම දේ පිටතට ගෙන ඒම.
  • ඔබගේ කිසිදු හොඳක් හෝ යහපත් දෙයක් නොදැකීම හා ඔබ තුළ ඇති නරකම දේ පමණක් දැකීම.
  • මෙබඳු පුද්ගලයෙක් සමග ගනුදෙනු කිරීමේ දී දැන් ගැටුමක් ඇති වේ වේදෝයි යන බියෙන්  ඉතා ප්‍රවේශම් කාරීව කටයුතු කිරීමට සිදු වීම.
  • අනෙකා සතුටු කිරීමට බොහෝ කාලයක් හා බොහෝ චිත්තවේගික ශක්තියක් වැය කිරීමට සිදුවීම.ඒ නිසා තමාට පීඩාකාරී තත්වයන් ඇතිවීම.
  • සෑම විටම විටම දෝෂාරෝපණයට භාජනය වීමට සිදුවීම.අනිකා කළ වැරැද්ද වෙනත් අතකට හැරවීම නිසා ඔහුගේ වැරැද්ද ඔබගේ වැරැද්දක් බවට නිතරම පත්වීම.

ඉහත ලක්ෂණ හෝ එම ලක්ෂණ වලින් කීපයක් ඔබගේ සබඳතාව තුළ දී ඔබට පීඩාවක් ඇති කරන බව හැඟී යන්නේ නම් එම සබඳතාවය විෂ සහිත සබඳතාවකි.ආත්මාර්ථකාමී බව,සෘණාත්මක බව,එකිනෙකාට ගරු නොකිරීම විෂ සහිත සබඳතාවකට මග පෙන්වයි.

විෂ සහිත බව හි ලක්ෂණ පහත පරිදි  තවදුරටත් හඳුනා ගැනීමට පුළුවන

අනාරක්ෂිතභාවය

ඊර්ෂ්‍යාව

සෘණාත්මක අදහස්

තමාට පමණක් ප්‍රමුඛත්වය නිතරම ලබාදීම

ආත්මාර්ථකාමී භාවය

හෙලා දැකීම

සෑමවිටම ඉල්ලීම් පමණක් සිදු කිරීම.

අවිශ්වාසය

කලහකාරී ලෙස හැසිරීම.

ගෞරව නොකිරීම.

පහත් කොට සැලකීම

 

මෙබඳු ලක්ෂණය ඔබේ සබඳතාවය තුළ පවතී නම් එය විෂ සහිත සබඳතාවයක් බව හඳුනාගන්න.මෙබඳු සබඳතා පවතින්නේ ආදර සම්බන්ධතා තුළ පමණක් නොවේ.පවුල් තුල හෝ රැකියා කරන ස්ථානයේ මෙන්ම යහළු මිත්‍රයන් අතර ද මෙබඳු සබඳතාවන් සුලභය.

විෂ සහිත සබඳතා පවත්වන පාර්ශව දෙක තුළම දැකීමට නොහැකි වුවද එක් පාර්ශ්වයක  හෝ මෙබඳු ලක්ෂණ පවතී නම් අනිත් පුද්ගලයා දැඩි ලෙස පීඩාවට පත්වේ. සමහර පුද්ගලයන් අවට සිටීමම සරලව විෂ සහිතය .ඔවුන්ගෙන්  නිරතුරුවම පැමිණෙන,විවේචනාත්මක ප්‍රකාශ  හා සෘණාත්මක භාවය හා සෘණාත්මක හැසිරීම් තුළින් ඔබේ ශක්තිය ගිලිහී යන සේ කටයුතු කරයි.නැතහොත් සෑමවිටම අනෙක්  කෙනා සමගින් තර්ක කරමින් තමාගේ  දැනුවත් භාවය ප්‍රකට කිරීමට උත්සාහ කරයි. එසේත් නැතහොත් අන් අයගේ වැරදි පෙන්වා දෙයි.මේ සියල්ලම කාලයත් සමග ඔබගේ මනසට බරක් වීමට හැකිය. විෂ සහිත බව හා විෂ සහිත සබඳතා මනා ලෙස කළමනාකරණය නොකිරීමෙන් අතිශයින්ම ආතති දායක තත්ත්වයකට පත්වීමේ පත් වීමේ වැඩි ඉඩකඩක් ඇත.ඒ තුළින් ඔබගේ මානසික සෞඛ්‍ය පිරිහෙයි එය ශාරීරික සෞඛ්‍ය කෙරෙහිද බලපානු ඇත. ඔබ පවත්වන සබඳතා ඉහත සඳහන් කළ පරිදි විෂ සහිත නම්  ඔබේ ආත්ම අභිමානයට සහ ඔබේ සමස්ත මානසික සෞඛ්‍ය මෙන්ම ශාරීරික සෞඛ්‍යයට ද සැබෑ හානියක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇත.

2016 මිචිගන් විශ්වවිද්‍යාලයේ මගින් සිදුකල අධ්‍යනයකට  අනුව අනාවරණය වී ඇත්තේ ආතතිය සහ සෘණාත්මක විෂ සහිත සම්බන්ධතා   අතුරු ඵලයක් වශයෙන්  සෘජුවම හෘද වාහිනී පද්ධතියෙහි සෞඛ්‍ය කෙරෙහි බලපාන බවයි.

තමාට හානි කරන විෂ සහිත සබඳතා හඳුනාගෙන එම සබඳතාවන් වලින් හැකිතාක් දුරස් වී හෝ ඉවත් වී සිටීමෙන් සිටීමෙන් ඔබගේ මානසික සෞඛ්‍ය මෙන්ම ශාරීරික සෞඛ්‍ය යහපැවැත්මට මඟ පාදනු ඇත.

 

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version