අක්කරෙයිපත්තුව පාලමුනෙයි හීදී ගම්වැසියන් පිරිසක් පොලීසිය සමඟ ඇතිකරගත් නොසන්සුන් තත්ත්වයකින් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් සහ ගම්වැසියන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් අතර අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයාද සිටින බව පොලීසිය කියයි.
තුවාලකරුවන් රෝහල්ගතකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයෙක්ද ඒ අතර සිටින බව සඳහන්ය.
හිස්වැසුම් නොමැති යතුරුපැදිකරුවෙකු පොලිස් අණ නොතකා පොලිස් මාර්ග බාධකයක් හරහා ගමන් කර ඇති බවත් පසුව එම යතුරුපැදිය යතුරුපැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ලිස්සා පෙරළි ගොස් ඇති බවත් පොලීසිය කියයි.
එහිදී යතුරුපැදිකරු තුවාල ලබා ඇත. එම සිද්ධිය පදනම් කරගෙන එම ස්ථානයට රැස්වූ ගම්වැසියන් පිරිසක් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසිය සඳහන් කරයි. තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරියෙක් වෙඩි තැබීමක් කර ඇති බවත් එහිදී වෙඩි වැදීමකින් පුද්ගලයෙක් තුවාල වීමත් සමඟ පොලීස් නිලධාරීන්ට පහරදීම සිදුව ඇති බවත් අක්කරෙයිපත්තුවෙන් ලැබෙන තොරතුරු සඳහන් කළේය.
නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භකර තිබේ. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා අක්කරෙයිපත්තුවට මේ වන විටත් ගොස් ඇත.