මුල් පිටුව උණුසුම් පුවත් දින 19 ක් පොලීසියට කට්ටිපැන්න රාජ්‍ය ඇමති සහෝදරයා මාට්ටු

දින 19 ක් පොලීසියට කට්ටිපැන්න රාජ්‍ය ඇමති සහෝදරයා මාට්ටු

0
arrested

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් මන්ත්‍රී ජගත් සමන්ත මහතාව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජවිපෙ සහ එජාපයේ ක්‍රියාකාරීන් සිව් දෙනෙකුටත් ඔවුන්ගේ නිවාස සහ දේපොල වලටත් ඉකුත් 02 දා පහරදී අලහාභානි කිරීම සම්බන්ධයෙනි.

ජගත් සමන්ත මහතා එම පහරදීමෙන් පසු සැඟව සිටි බව පොලීසිය සඳහන් කළේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාශයභාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබුණි.

සැකකාර ජගත් සමන්ත මහතා ඔහුට අයත් ආරච්චිකට්ටුවේ පිහිටි ඉස්සො ගොවිපොලක රැදී සිටින බව පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම ආරච්චිකට්ටුව පොලීසිය සමඟ එක්ව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

එම අවස්ථාවේදී ඔහු කලපුවට පැන පළායාමට උත්සහයකද නිරත වූ බවත් පසුව පොලීසියට සිය දේශපාලන හයිය පෙන්වීමට පවා උත්සහා දරා ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජගත් සමන්ත ඇතුළු පිරිස ජවිපෙ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් මහතාටත් ඔහුගේ නිවසටත් එජාපයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ නිවසටත් පහරදී තිබුණි. මෙම පහරදීම්වලින් සිව් දෙනෙක් තුවාල ලැබීය. ඒ එක් අයෙකුගේ හිසට මැහුම් 10 ක් යොදන තරමට තුවාල සිදුවී තිබුණු බව පොලීසිය සඳහන් කළේය. මොවුන් කළ පහරදීම්වලින් වෑන් රථ දෙකකට , යතුරු පැදි දෙකකට සහ ත්‍රී රෝද රථයකට හානි සිදුව ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

මෙම පහරදීමට ජගත් සමන්ත ඇතුළු 07 දෙනෙකුගේ කණ්ඩායමක් සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පොලීසිය දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඉකුත් 04 වෙනිදා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජගත් සමන්ත මහතා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසට පොලීසියට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් 05 වෙනිදා ආරච්චිකට්ටුවේදී විරෝධතාවක්ද පැවැත්විය.

පොලීසිය සඳහන් කරනු ලැබුවේ තවත් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. ජගත් සමන්ත මහතාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආනවිළුන්දාව රැම්සා අභයභූමියට අයත් ප්‍රදේශයක් අනීතික ලෙස හෙළිපෙහෙළි කිරීමක් සම්න්ධයෙන්ද 2020 වසරේදී ජගත් සමන්ත මහතාට චෝදනා එල්ලවිය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version