මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් සංයුතිය ගැන ස්ටිකරේ සිලින්ඩරේ අලවන්න ලීට්‍රෝ එකඟයි

ගෑස් සංයුතිය ගැන ස්ටිකරේ සිලින්ඩරේ අලවන්න ලීට්‍රෝ එකඟයි

0

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ලීට්‍රෝ සමාගම එකඟ බව අධිකරණයට අද දැනුම් දී තිබේ.

එමෙන්ම ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බවද ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අද දන්වා ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (15) රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.

එම අවස්ථාවේදී ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීවේ තම සේවාදායකයින් විසින් වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බවය.

ජනාධිපති නීතිඥවරයා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දී ඇත.

එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පවසා ඇත.

මෙහිදී අධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට නියෝග කළේ එම කරුණු සියල්ල ඇතුළත් කර හෙට දින දිව්රුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version