මුල් පිටුව උණුසුම් පුවත් දියර කිරි නිෂ්පාදනය 80%කින් වැඩිකරන්න යයි

දියර කිරි නිෂ්පාදනය 80%කින් වැඩිකරන්න යයි

0

මෙරට දියර කිරි නිෂ්පාදනය හා පරිභොජනය 2024 වනවිට 80%කින් වැඩි කරන්න අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා newswaveLK වෙත පැවසීය.

ඒ අනුව කිරි ගව පාලනයට යොමු වන දේශීය ආයෝජකයින්ට බදු සහන, අඩු පොළී ණය, ඉඩම් ඇතුළු අවශ්‍ය අනෙකුත් සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

දේශීයව දියර කිරි නිෂ්පාදනය වැඩි කර, දියර කිරි පරිභෝජනයට ජනතාව පෙළඹවීමෙන් පිටිකිරි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල මුදලක් වාර්ෂිකව ඉතිරි කර ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“ලංකාවේ ජනතාවට පරිභෝජනය සඳහා දියර කිරි ලීටර් මිලියන 720ක් වාර්ෂිකව අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ දැනට වාර්ෂිකව නිෂ්පාදනය කරන දියර කිරි ප්‍රමාණය ලිටර් මිලියන 420ක් පමණ වෙනවා.

ඒ අතරිනුත් අපේ ජනතාව පරිභෝජනය කරන ප්‍රමාණය ඉතා අඩුයි. ගම්බද කිරි ගොවියන්ගේ කිරි මිලදී ගන්නත්, ඒවා කොම්පැනිවලට අලෙවි කරනවා. ඒ හැරෙන්න දියර කිරි පරිභෝජනයට ජනතාව නැඹුරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

මම තරුණයන්ට ආරාධනා කරනවා, කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දියර කිරි අලෙවි සැල් පටන් ගන්න කියලා. ඒකට අවශ්‍ය හැම සහයක්ම අපි ලබා දෙන්න සූදානම්” යැයිද අමාත්‍යවරයා කීවේය.

“සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරාවට වැඩ කරලා තියෙන්නේ, මෙරට කිරි නිෂ්පාදනය වැඩි කරන්න ද, එහෙම නැත්නම් පිටිකිරි ආනයනය වැඩි කරන්න ද කියලා සැකයක් මතුවෙනවා. පසුගිය කාලය තුළ මෙරට කිරිගව පාලනයට යොමු වූ ගොවීන් ළඟ හිටපු කිරිදෙනුන් ගැබ් ගෙන නෑ. ඒකට හේතුව කෘත්‍රිම සිංචනය කරන නිලධාරින් හිඟකමයි. එවැනි නිලධාරීන් 600ක පුරප්පාඩු පවතිනවා. අපි මේ වසර තුළ මුදල් අමාත්‍යාංශයත් සමඟ කතා කරලා, ඒ පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරලා” යැයි ද අමාත්‍යවරයා කීවේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version