මුල් පිටුව උණුසුම් පුවත් මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමේ සූදානමක්

මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමේ සූදානමක්

0

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කළ සමීක්ෂණයකට මත්පැන් කාලේ (1/4) බෝතලය තහනම් කරන ලෙස මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 72.4% ක ප්‍රමාණයක් මත පළ කර තිබූ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

විවිධ අධ්‍යාපන මට්ටම් හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් එම සමීක්ෂණයට සහභාගි කරගත් අතර එම පුද්ගලයින්ගෙන් 72.4% ක්ම ප්‍රකාශ කර තිබුණේ මෙරට මත්පැන් 1/4 බෝතල් නිෂ්පාදනය හා අලෙවිය තහනම් කළ යුතු බවය.

ඒ අනුව තම අධිකාරිය මත්පැන් 1/4 බෝතල් නිෂ්පාදනය තහනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටි බවද ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර ගොවිජනපද ආශ්‍රිතවත් කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් පරිසර අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත්තේ මෙම බෝතල්වල කටු ජල පහරවල්වලට ගසාගෙන ගොස් කුඹුරු හා ගොවිබිම් වල රැඳී තිබෙන බවට ය.

එම නිසා පරිසර හානිය පමණක් නොව ඔවුන්ට ගොවිතැන් කිරීමේදී දැඩි හානි සිදුවන බවට ද ගොවීන් පරිසර අමාත්‍යාංශයට පැමිණිලි කර තිබූ බවද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් භාවිතා කළ ජනතාව පිළිබඳ ඉකුත් දා ඉදිරිපත් කළ ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මත්පැන් 1/4 බෝතල් නිසා ඒවායේ භාවිතය ඉහළ යන බව පෙන්වා දී ඇත.

මත්පැන් අලෙවියෙන් 54%ක්ම කාලේ බෝතල් ලෙස අලෙවි වන අතර මසකට අලෙවිකරණ බෝතල් සංඛ්‍යාව ලක්ෂ 90-100 ත් අතර ප්‍රමාණයක් වේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version