මුල් පිටුව special කාන්තාවන්ට පීඩා ගෙන දෙන තුනටිය අමාරුව

කාන්තාවන්ට පීඩා ගෙන දෙන තුනටිය අමාරුව

0

කාන්තාවන් බහුලවම පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස තුනටිය වේදනාව දැක්වීමට පුළුවනි. ඒ නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා මේ පීඩාකාරී තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම රටාව වගේම රෝගීයාගේ ආහාර පාන විහරණ රටාව මගින් මේ තත්ත්වය නිට්ටාවටම විසඳා ගැනීමට හැකියාව තිබෙයි.

කාන්තාවන්ට තුනටිය අමාරුව ඇති විය හැකි අවස්ථා


කාන්තාවන් බොහෝ දෙනෙකු පීඩා විඳින රෝග ගණනාවක පොදු ලක්ෂණයක් ලෙස තුනටිය අමාරුව හෙවත් කටී වේදනාව හඳුනාගන්න පුළුවනි.
විශේෂයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රීත ඉන්ද්‍රියන්ගේ විකෘතිතාවයන් හරහා තුනටිය වේදනාව ඇතිවීමට පුළුවනි.



උද්‍රහරණ ලෙස,

  • ගර්භාෂය පසු පසට පෙරළිම
  • ඩිම්බ නාළ ප්‍රදාහ ජනක අවස්ථා ( Salphingitis )
  • ඔසප් ශුලය ( Menstrual pain )
  • මුත්‍රා මාර්ගගත රෝග
  • ගුධගත රෝග
  • සන්ධිගත වාත රෝග

    මීට අමතරව,
  • අධික වෙහෙසකාරී ක්‍රියාවලි වල නිරතවීම
    උද්‍ර :
    • අධික බර එසවීම
    • අධිකව පයින් ඇවිදීම
    • අධික ව්‍යායාම
  • ඇතැම් පිළිකා වර්ග නිසා
  • පහර වැදීම්
  • වැටීම්
  • තැලීම් නිසා
  • අති මෛථුනය
  • පිට කළ යුතු වේග දරා සිටීම නිසා
    උද්‍ර :
    • මුත්‍රා/මළ වේග
  • මානසික හේතු
  • අධික චිත්තා වේග නිසා
    උද්‍ර :
    • අධිකව බියවීම
    • අධිකව කෝපවීම

තුනටිය අපහසුව ඒමට බලපාන මුලික ලක්ෂණ වන රෝග

ඔසප් ශුලයක දී : වේදනාව යටිබඩ ප්‍රදේශයට පමණක් නොව කොන්ද, ඉකිළි, කළවා ඉදිරිපස හා පසුපසට ද, දණහිස් දක්වා ද පසුපසින් උකුල් ප්‍රදේශය දක්වා ද පැතිරෙයි.

ගැබ්නාළ ප්‍රදාහය දී : වේදනාව ගැබ්නාළ පිහිටි ස්ථානයේත් ඇතැම් විට ඉකිළි හා පෙකණියට පහළිනුත් / උදර බිත්තියට ද පැතිර යාමට පුළුවනි.

ඩිම්බකෝෂ වල රෝග වල දී : වේදනාව උදර ප්‍රදේශයට ද පැතිරෙයි.

පිළිකා අවස්ථාවල දී : දරුණු වේදනාවක් උකුල් ප්‍රදේශයේ පවතින අතර එය කොන්ද, තට්ටම්, කළවා පිටුපස හා පාදයේ විලුඹ දක්වා ද පැතිරෙයි.

යෝනිය ඉදිරිපස ආබාධ වල දී : කොන්ද, තට්ටම් හා ගුද ප්‍රදේශයට ද කළවා පිටුපසට හා පාදයේ විලුඹ දක්වා ද පැතිරෙයි.

මුත්‍රාශ රෝග වල දී : වේදනාව ඒ මතුපිට පවතිනවා. එය කොන්ද පහතට පැතිරෙන වේදනාවක් ද වීමට පුළුවනි.

ගැබ්ගෙළ තුවාලයක දී : හැමවිටම අසහනකාරී වේදනාවක් පවතින අතර කල් පවතින තුනටිය වේදනාවක් පවතියි. වැතිර සිටිමෙන් සුව නොවන අතර සිට ගැනීමෙන් ද වැඩි වීමකුත් නොවේ. පැතිරෙන වේදනාවකට සමානයි.

ගර්භාෂය පසුපසට පෙරළිම : තද වේදනාවක් ගෙන දෙයි.

ගර්භාෂය පහත් වීමක දී :  පසුපස පහත කොටසේ වේදනාව හටගෙන දවස පුරා වෙහෙසවීමෙන් වේදනාව ඉතා අධික වෙයි. වැතිර සිටිමෙන් පහසුවක් දැනෙයි.

ගැබ් නාළ ප්‍රදාහය : කල් පවතින තුනටිය වේදනාවක්. වැතිර සිටිමෙන් සහනයක් ලැබෙයි.

අධික වෙහෙස : වැඩි වේලාවක් සිටගෙන සිටින රැකියාවක නියුතු කාන්තාවන් වගේම අඩි උස පාවහන් පැළදීම හා පණ්ඩු හෙවත් ලේ හිඟකමින් පීඩා විඳින අයට තුනටිය වේදනාව එන්න පුළුවනි.

අති මෛථුනය : වැඩි වාර ගණනක් සංසර්ගයේ යෙදීම නිසා ද තුනටිය වේදනාව ඇතිවීමට පුළුවනි. එමෙන්ම මානසික හේතු ද, සංසර්ගයට ඇති අකමැත්ත නිසා ද, පුරුෂයාට ඇති අකමැත්ත නිසා ද තව ගර්භණි වීමට ඇති බිය නිසා ද වේදනාව හටගන්න පුළුවනි.

මානසික හේතු : අධික ක්‍රෝධය, අධික වෛරය වැනි අධික චින්තා වලින් පෙළිම කොන්ද හා ඒ ආශ්‍රීත වේදනාව ඒමට පුළුවනි.

කොන්ද ප්‍රදේශය වෙහෙසට පත්වීම නිසා : දරුවන් කිහිප දෙනෙකු බිහිකළ මවක් නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය බන්ධන ලිහිල් වීම නිසා ද අඬු දමා අපහසුවෙන් දරුවන් බිහි කිරීම (Forcep Delivery) ගර්භණි අවසාන මාස වල දී උදරයත් සමඟ කොඳු ඇට පේළිය ඉදිරියට නෙරා ඒම නිසා ද (Lodosis) වේදනාව ඇතිවෙන්න පුළුවනි.

ඔබට නිවසේ දී මේ අත්බෙහෙත භාවිත කරන්න පුළුවන්.

  • නික කොළ, පාවට්ටා කොළ, බේත් එඬරු කොළ – සමව ගෙන කොටා වාෂ්පයෙන් තම්බා තැවීම කළ හැකියි.

සැලකිය යුතුයි. – හැබැයි මේ අත්බෙහෙත මගින් තාවකාලික සහනයක් ලැබුණ ද සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හරහා ඔබේ රෝග ලක්ෂණ හා රෝගයට මුල් වූ හේතු සොයාගෙන මුල සිට වෛද්‍යමය ප්‍රතිකාර අරඹා දිර්ඝකාලීන සුවය ලබා නිරෝගීව සිටීම වැදගත් වේ.

ආයුර්වේද සතු ප්‍රතිකාර තුනටිය වේදනාවෙහි සහනයට තුනටිය වේදනාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේදය සතුයි. එනම්, පත්තු වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග, තෛල වර්ග, කසාය වර්ග – මේ සඳහා උපයෝගී කරගන්න අභ්‍යන්තර හා බාහිර ඖෂධ ඒ වගේම, කටී වස්ති යෙදීම, පංචකර්ම ප්‍රතිකාර ක්‍රම මගින් ඉතා විශිෂ්ඨ ගුණ දෙන ප්‍රතිකාර වෙයි.

ඒ අනුව, ප්‍රතිකාරයට පෙර රෝගියා සමඟ සාකච්ඡා කිරිමෙන්, රෝග ඉතිහාසය, වේදනාවේ ස්වභාවය, වේදනාව පවතින ස්ථානය, බලවත් බව, වේදනාව පවතින කාලය උද්‍ර : වේදනාව නිතර එනවා ද නැත්නම් විටින් විට පවතින වේදනාවක් ද වේදනාව වැඩිවන කාලය ආදී, සියල්ල නිවැරදිව විමසා බලා නිවැරදි විනිශ්චය සහිත තමයි ආයුර්වේදය ප්‍රතිකාර අරඹන්නේ. ඒ හරහා රෝගියා ඉතා ඉක්මන් සුවය ළඟා කර ගැනීමට හැකියාව ලැබෙයි.

සාර්ථක සුවයකට ප්‍රතිකාර ලබා ගැනීම. කොපමණ කාලයක් රෝගියා ඖෂධ ලබා ගත යුතු ද ?

රෝගය සුවවීමට එකිනෙකාට සාපේක්ෂව වන අතර නිවැරදි රෝග විනිශ්චය හා රෝග නිදානය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හා රෝගීයා ඒ සඳහා කැපවීම අනුව එක් පුද්ගලයාගේ ප්‍රකෘතිය මත සුව කරගැනීම ඖෂධ වගේම ඇතැම් විට ශල්‍ය සාධ්‍ය ( සුළු ශල්‍ය කර්ම) සිදු කිරීම මගින් සුවය ලබා ගැනීම හැකිවේවී.

නැවත රෝගය ඖෂධ හා විහරණ මගින් සුව වූ වත් නැවත ඒමට පුළුවන් ද ?

ඇතැම් රෝග හේතු නිසා හටගත් තුනටිය වේදනාව සුව වූ පසුවත් රෝගියා ගේ අපථ්‍ය ආහාර හා ඇවැතුම්, පැවැතුම් නිසා ඇති වීමට පුළුවන්. එය රෝගියා ගේ පැවැත්ම හා බැඳුණු දෙයක් නිසා ප්‍රතිකාර හරහා ලැබුණු දෙයක් නිසා ප්‍රතිකාර හරහා ලැබුණු සුවය දීර්ඝකාලීනව තබා ගැනීම රෝගියා සතු වගකීමකි.

නැවත රෝගය ඉස්මතු නොවිමට රෝගියා සතු කාර්යය

  • උෂ්ණ ගුණයෙන් යුතු ආහාර/පාන වලින් වැළකීම.
  • මළ / මුත්‍රා වේග නිසියාකාරව බැහැර කිරීම.
  • අධික ව්‍යායම හා අධිකව කය වෙහෙසන ක්‍රියාවලින්ගෙන් වැළකීම.
  • අධික මෛථුන සේවනය නොකිරීම.
  • අධික චිත්ත වේග සිතුවිලි වලින් තොරවීම.
  • නිවැරදි ඉරියව් පවත්වාගෙන යාම.
  • සුව නින්ද හා දිවා කළ නිදා ගැනීම වැළකීම.
  • අධික හිරු රශ්මියට නිරාවරණය වැළකීම.
  • අධික සීතල පරිසර හා අධික සීතල ජලය ස්නානයෙන් වැළකීම.
  • ඖෂධ විහරණ වගේම ආහාර පාන වලින් ද සැලකිලිමත් වීම වැදගත්.


ආයුර්වේදයට අනුව වාත කෝප කරන හේතු මගින් මෙවැනි රෝග වලට බොහොමයක් හේතුවන නිසා එවැනි ආහාර පාන අඩු කළ යුතුයි.


උද්‍ර: බණ්ඩක්කා / ඇඹුල් කෙසෙල් / තක්කාලි / අච්චාරු / අන්නාසි / ඉස්සෝ / දැල්ලෝ / සැමන් / බල මාළු  ආදී උෂ්ණ ආහාර අපථ්‍ය වෙයි.


පත්‍ය ආහාර පාන
කොල්ලු / මුං ඇට / කඩල / පරිප්පු / සුදු ලූණු / රතු ලූණු / පතෝල / වැටකොළු / වට්ටක්කා / පළා වර්ග / උණු දිය පත්‍ය ආහාර පාන වෙයි.


ඖෂධ වගේම රෝගියා ගේ පැවැත්ම අනුව මෙවැනි ඔබේ දින චර්යාවට හා ජීවන ගමනට බාධා එන තුනටිය වේදනාව හෙවත් කටී වේදනාව සහමුලින්ම වළකා ගැනීමට හැකියාව ලැබෙන ඇත.
 
වෛද්‍ය උපදෙස් :
ආයුර්වේද වෛද්‍ය චන්දිමා සංජිවනි පෙරේරා
ආයුර්වේද වෛද්‍ය නිළධාරිනි
ආයුර්වේද රෝහල – ගාලදිවුල්වැව

 

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version