මුල් පිටුව උණුසුම් පුවත් ජගත් දේශගුණික විපර්යාස සමුළුව නිල වශයෙන් ඇ‍රඹේ

ජගත් දේශගුණික විපර්යාස සමුළුව නිල වශයෙන් ඇ‍රඹේ

0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව COP :26 ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් ආරම්භ විය.

සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වනවිට එහි ගොස් සිටී.

කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් පවත්වා සමුළුවේ වැඩකටයුතු ආරම්භ විය.

ග්ලාස්ගොව්හි පැවැත්වෙන දේශගුණ සමුළුව වෙනුවෙන් ස්කොට්ලන්තයේ විශාලතම නගරයට රැස්වන ලොව පුරා නායකයින් හරිතාගාර වායු විමෝචනය මැඩපැවැත්වීමට සහ දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ කටයුතු කිරීමට දරන උත්සාහයන් ඉදිරිපත් කරනු ඇත.

දේශගුණය උණුසුම් වන විට පෘථිවියේ සහ දුප්පතුන්ගේ දුක් වේදනා ලෝක නායකයින්ට අවබෝධ කර දෙන ලෙසට යාඥා කරන ලෙස වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ලෝක ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඔහු ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි පිරිසට පැවසුවේ “පෘථිවියේ මොරගෑම සහ දුප්පතුන්ගේ මොරගෑම් සමුළුවට සහභාගි වූවන්ට ඇසෙන පිණිස අපි යාඥා කරමු” යනුවෙනි.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25000ක පමණ පිරිසක් සහභාගී වෙති.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක් ව සිටිති.

පූර්ව කාර්මික කාලය හා සසඳන විට මෙම සියවසේදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 (ෆැරන්හයිට් 2.7) ට වඩා වැඩි වීම වැළැක්වීම සඳහා රටරටවල් ගන්නා උත්සාහයන් වේගවත් කිරීමට මෙහිදී සාකච්ඡා කරනු ඇත.

සමුළුවේ ආරමභක අවස්ථාවේදී ‘1.5 ළඟා කර ගැනීම අපගේ අවසාන, හොඳම බලාපොරොත්තුව’ ලෙස පවතී’ යැයි COP26 සාකච්ඡාවල මුලසුන හොබවන බ්‍රිතාන්‍ය රජයේ අමාත්‍ය ආලෝක් ෂර්මා පැවසීය.

විද්‍යාඥයන් පවසන්නේ 2015 පැරිස් දේශගුණික ගිවිසුමෙන් අවසන් වූ සුවිශේෂී ගනුදෙනුවේදී එකඟ වූ එම ඉලක්කය සපුරා ගැනීමේ අවස්ථාව කෙමෙන් ගිලිහී යමින් පවතින බවයි. ලෝකය දැනටමත් 1.1C ට වඩා උණුසුම් වී ඇති අතර ඉදිරි දශකය තුළ සැලසුම් කර ඇති විමෝචන කප්පාදුව මත පදනම් වූ වර්තමාන ප්‍රක්ෂේපණය වසර 2100 වන විට එය 2.7C දක්වා ඉහළ යනු ඇත.

එවැනි උණුසුමකින් මුදාහරින ශක්ති ප්‍රමාණය ග්‍රහලෝකයේ අයිස්වලින් වැඩි ප්‍රමාණයක් දියවී, ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවන අතර ආන්තික කාලගුණයේ සම්භාවිතාව සහ තීව්‍රතාවය විශාල ලෙස වැඩි කරනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.

“අපට සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි අතර අපට නිරන්තරයෙන් වැඩිවන අභිලාෂයන් සහ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමේ දශකයක් දියත් කළ හැකිය,” ෂර්මා සමාරම්භක උත්සවයේදී පැවසීය. ‘හොඳ හරිත රැකියා, ලාභදායී, පිරිසිදු බලය සඳහා හරිත වර්ධනය සඳහා ඇති දැවැන්ත අවස්ථාවන් අපට ග්‍රහණය කරගත හැකිය.’

ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නා වන චීනය සිය දේශගුණික ඉලක්ක තරමක් ඉහළ නංවා ඇති බව ෂර්මා සඳහන් කළේය.

“නමුත් ඇත්ත වශයෙන්ම අපි මීට වැඩිය බලාපොරොත්තු වුණා,” ෂර්මා මීට පෙර පවසා තිබුණි.

සමුළුවේ විධායක ලේකම් පැට්‍රිෂියා එස්පිනෝසා පැවසුවේ, “අප සිටින්නේ ඉතිහාසයේ තීරණාත්මක ස්ථානයක ය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කය තබා ගැනීම සඳහා අපි එක්කෝ විමෝචනය වේගවත් හා මහා පරිමාණයෙන් අඩු කර ගැනීමට තෝරා ගත යුතුය. නැතහොත් මනුෂ්‍ය වර්ගයා මේ පෘථිවියේ අඳුරු අනාගතයකට මුහුණ දෙන බව අපි පිළිගත යුතුය” යනුවෙන් පැවසුවාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version