මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන චෝදනා පත්‍රවලට මාස 06 න් විසදුම් නැතිනම් කුණු...

පොලිස් නිලධාරීන්ට නිකුත් කරන චෝදනා පත්‍රවලට මාස 06 න් විසදුම් නැතිනම් කුණු කූඩෙට

0

පොලිස් නිලධාරියෙකුට චෝදනා පත්‍රයක් නිකුත් කර මාස 06 ක් ඇතුලත එය විභාගකර අවසන් නොකළහොත් එම චෝදනා පත්‍රය අවලංගුවන ආකාරයට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂා ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

ආයතන සංග්‍රහයට අනුව එම කටයුත්ත සිදුවන බවත් මේ වන විට ගොඩගැසී ඇති චෝදනා පත්‍ර සති දෙක තුනක් ඇතුලත අවසන් කිරීමට මේ වන විට අවශ්‍ය පියවර පොලිස්පතිවරයා විසින් ගෙන ඇති බවත් ඇමතිවරයා පවසයි. පොලිස් නිලධාරීන්ට සිය ඉහළ නිලධාරීන් විසින් චෝදනාපත්‍ර නිකුත් කරන්නේ විනය හෝ වෙනත් හේතූන් පදනම් කරගෙනය. ඒ සම්බන්ධයෙන් යම් විභාගයක් පැවැත්විය යුතු අතර එම විභාගය අවසානයේදී නිලධාරියා නිවැරදි කරුවෙක් හෝ වැරදි කරුවෙක් ලෙස ප්‍රකාශ කළ යුතුව ඇත. යම් නිලධාරියෙකුට චෝදනාපත්‍රයක් නිකුත්කර තිබේනම් එම නිලධාරියාගේ උසස්වීමට එය දැඩිව බලපාන අතර එසේ විභාග නොකර වසර ගණනාවක්ම තිබෙන චෝදනා පත්‍ර හේතුවෙන් පොලීසියේ නිලධාරීන් රැසක් උසස්වීම් ලැබීමට නොහැකිව මානසිකව පීඩාවට ලක්ව සිටිති.

ඇතැම් නිලධාරීන්ට 2011 වසරේ නිකුත් කළ චෝදනා පත්‍රවලට අතවත් තියා නොමැති බව ඇමතිවරයා පෙන්වා දෙයි.

උසස් වීම් ලැබීමට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 35 දෙනෙකුට වසර ගණනාවක් තිස්සේ විභාග නොකෙරුණු චෝදනා පත්‍ර හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උසස්වීම් ලැබීමේ අවස්ථාව අහිමිවීමේ අවධානමක්ද ඇතිවී තිබුණි.

චෝදනා පත්‍ර මාස 06 ක් තුළ විසදා අවසන් නොකළහොත් එම චෝදනාපත්‍ර අහෝසි වන ආකාරයට අවශ්‍ය පියවර ගැනීමට තීරණය වන්නේ එබැවිණි.

එසේම යම් පොලිස් නිලධාරියෙක් සිය රාජකාරිය කිරීමට යාමේදී මානව හිමිකම් චෝදනාවක් එල්ලවූ විට ඔහු වෙනුවෙන් පොලීසිය හෝ රජයේ නීතී සහය ලැබෙන්නේ නැත. සිය පුද්ගලික මුදලින් ඒ සදහා නීතීඥ සහය ලබාගැනීමට සිදුවනු ඇත.

ඒ සම්බන්ධයෙන්ද මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාගේ අවධානය යොමුවී තිබේ. රාජකාරිකරන්න ගිහින් මානව හිමිකම් නඩුවක් වැටුනොත් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදීමටද අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බව ඇමතිවරයා කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version