මුල් පිටුව special පැයට කිලෝමීටර 620ක වේගයෙන් යාහැකි දුම්රියක ආකෘතියක් චීනය එළිදක්වයි

පැයට කිලෝමීටර 620ක වේගයෙන් යාහැකි දුම්රියක ආකෘතියක් චීනය එළිදක්වයි

0

ශ්‍රී ලංකාවේ වඩාත් දූරින්ම පිහිටි අන්ත දෙක දෙවුන්දර තුඩුව සහ පේදුරු තුඩුවයි. මෙම ස්ථාන දෙක අතර දුර කිලෝමීටර 526.8ක් ලෙස සැලකේ. අපගේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවාවන්ට මෙම ගමන සඳහා පැය 10ක් පමණ ගතවන බවට අනුමාන කළ හැක. නමුත් පැයකටත් අඩු කලකදී මෙවන් දුරක් ගමන් කලහැකි දුම්රියක් නිෂ්පාදනය කෙරෙමින් පවතින බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වනු නොඅනුමානය. මෑතකදී චීනයෙන් අසන්නට ලැබුනේ පැයට කිලෝමීටර 620ක (පෑයට සැතපුම් 385 ක) වේගයෙන් ධාවනය කලහැකි දුම්රියක් එළිදැක්වීමට ඔවුන් සැරසෙන බවයි.

High-Temperature Superconducting (HTS) තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම දුම්රිය, චුම්භක පීලි මත ගමන් කරයි. 2021 ජනවාරි 13 වනදා විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් මීටර් 165ක් දිග පීලි මත මීටර 21කින් යුත් මෙම නව දූම්රිය ආකෘතිය ජනමාධ්‍ය වෙත එලිදක්වා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින්, චීනයේ Southwest Jiaotong විශ්ව විද්‍යාලයේ උප සභාපති, මහාචාර්ය හේ චුආං විසින් පවසා ඇත්තේ වසර 3 – 10 අතර කාලයකදී මෙම නව දූම්රිය ගමනාගමනය සඳහා එක්වනු ඇති බවයි. මෙහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන සිචුආං ප්‍රදේශය, ඒ සඳහා යොදා ගන්නා චුම්භක නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අතින් පොහොසත් වීම ඉතා වාසිදායක බවද ඔහු විසින් වැඩිදුරටත් පවසා ඇත.

කිලෝමීටර 37,000ක් පුරා දිවෙන චීන අධිවේගී දුම්රිය පද්ධතිය, ලොව විශාලතම අධිවේගී දුම්රිය පද්ධතිය ලෙස සැලකෙන අතර චීන Shanghai Maglev අධිවේගී දුම්රිය, දැනට භාවිතයේ පවතින ලොව වේගවත්ම දුම්රිය ලෙස සැලකේ.

මෙම මස මුලදී, සෙල්සියස් අංශක සෘණ 40කදී වුවද පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කලහැකි අධිවේගී දුම්රියක්ද චීනය විසින් එලිදක්වන ලදී. සුප්‍රසිද්ධ ඇමරිකානු ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ නිර්මාතෘ එලන් මස්ක් විසින් ද Hyperloop නම් තාක්ෂණය ඔස්සේ නළයක් තුළ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මඟින් පැයට කිලෝමීටර 1,000ක වේගයෙන් ගමන් කලහැකි ආකාරයක් පිළිබඳව ද මේ වනවිට පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version