ගෝලීය පරිසර දූෂණය කෙරෙහි ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇති බව නොරහසකි. මිනිසා විසින් සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 300ක් පමණ ඉවතලන අතර මෙම ප්‍රමාණය සමස්ථ ගෝලීය ජනගහනයේ ස්කන්ධයට සමාන වේ.
ප්ලාස්ටික් වල ඇති නොදිරන ස්වභාවය නිසා නොයෙකුත් ජෛව පද්ධති වලටද ඉන් සිදු වන හානිය අතිමහත්ය. මේ නිසාම, වරක් පාවිච්චිකර ඉවතලන ප්ලාස්ටික් භාවිතය බොහෝ රටවල තහනම් කිරීමට නීති සකස් වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුළ, දිරා නොයන, ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් මහාමාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ පුවතක් පසුගියදා අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා විය.
ඒ මෙම මූල්‍ය වර්ශය අවසන් වීමට පෙර, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාමාර්ග කිලෝමීටර 1,500ක් ඉදිකිරීම සඳහා ඉවතලන ප්ලාස්ටික් භාවිතයට ගැනීමට එම ප්‍රාන්ත රජය විසින් සැලසුම් සකස් කිරීමයි. මේ සඳහා ප්ලාස්ටික් ටොන් 2,000ක් පමණ ප්‍රමාණයක් භාවිතා වනු ඇති බව පැවසේ.
මීට පෙර, මෙම කාලය තුළ දී මූලික පියවරක් වශයෙන්, ඉවතලන ප්ලාස්ටික් ටොන් 63ක් භාවිතා කරමින් ප්‍රාන්තය තුළ මාර්ග 12ක් නිර්මාණය කර ඇති අතර එම ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බැවින් එලෙසම එම කටයුත්ත ඉදිරියට කරගෙන යාමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)
මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.