මුල් පිටුව special වඳවී යන කැස්බෑවුන් රකින්න 3G සහ GPS නිපදවූ කෘතීම බිත්තර

වඳවී යන කැස්බෑවුන් රකින්න 3G සහ GPS නිපදවූ කෘතීම බිත්තර

0

කැස්බෑවා යනු කාලාන්තරයක් තිස්සේ පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී ඇති, මේ වනවිට වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි. ලොව පුරා කැස්බෑවුන් විශේෂ 356 ක් පමණ සිටින අතර, වාර්ශිකව මින් විශාල සංඛ්‍යාවක් නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මියයන බවට වාර්තා වේ. ධීවර කටයුතු වලදී අහම්බෙන් දැල් වලට හසුවීම, හිතාමතාම කැස්බෑවුන් මස් පිණිස දඩයම් කිරීම මෙන්ම මිනිසුන් විසින් කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම වැනි සාධක මේ සඳහා හේතු වී ඇත. මේ නිසා ඇතැම් රටවල කැස්බෑවුන් මැරීම සහ කැස්බෑ බිත්තර පරිභෝජනය කිරීම නීති මගින්ම තහනම් කර ඇත.

කැස්බෑවන් සංරක්ෂණයේලා කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීම ඉතා වැදගත් පියවරක් වන බැවින්, මේ සඳහා අළුත්ම ක්‍රමවේදයක් විද්‍යාඥයින් පිරිසක් විසින් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුණි. ඒ කැස්බෑවුන් බිත්තර දමන ස්ථානවල, එම බිත්තර සමග ඒ ලෙසින්ම සකස් කරන ලද, කුඩා GPS යන්ත්‍රයක් සහිත කෘතීම බිත්තර සඟවා තැබීමයි.

මධ්‍යම ඇමරිකානු වෙරළ ආශ්‍රිත ජෛව පද්ධති සංරක්ෂණය කිරීමේලා කටයුතු කරන, Paso Pacifico නම් පර්යේෂණ ආයතනය මගින් මෙම කෘතීම බිත්තර හඳුන්වා දී ඇති අතර ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඇසුරින් නිර්මිත මෙම බිත්තර, සියලුම ආකාරයෙන් සැබෑ කැස්බෑ බිත්තර වලට සමාන බව පැවසේ. ඔවුන් විසින් මෙම බිත්තර “InvestEGGator” ලෙස නම්කර ඇත.

ඔවුන් විසින්ම නිපදවූ “NinjaFlex” නම් සුවිශේෂී රබර් වර්ගයක් මේ සඳහා යොදා ගෙන ඇති අතර මෙය සැබෑම කැස්බෑ බිත්තර ලෙස පෙනීම සඳහා සුප්‍රසිද්ධ හොලිවුඩ් දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණකරුවකු වන ලෝරන් වයිල්ඩ් විසින් සකස් කරන ලද තීන්ත වර්ගයකින් ආලේපනය කර ඇත.

සැබෑ කැස්බෑ බිත්තර සමග එම ගුල තුළම මෙම කෘතීම බිත්තරද තැබූ විට, යමකු මෙම බිත්තර එම ගුලෙන් පිටතට ගතහොත් (සොරකම් කළ හොත්), එම කෘතීම බිත්තර තුළ ඇති ජංගම දුරකථන වල භාවිතා කරන SIM පතක් මගින් දුරකථන ජාලයක් හරහා GPS (ස්ථානය දක්වන) තාක්ෂණය ඔස්සේ අදාල බලධාරීන්හට එම බිත්තර තිබෙන ස්ථානය දැනුම්දෙනු ලැබේ.

එංගලන්තයේ Durrell Institute of Conservation and Ecology ආයතනයේ පර්යේෂණ නිලධාරිණියකවන හෙලන් ෆීසී විසින් කොස්ටා රිකා හි පැසිෆික් වෙරළබඩ කැස්බෑවන් බිත්තර දමන ස්ථානවල මෙම බිත්තර සඟවා මෙහි සාර්ථකත්වය පිළිබඳව පර්යේෂණ සිදු කර ඇත. 2017 වසරේ සිට ආරම්භ කරන ලද මෙම පර්යේෂණය මගින් කොස්ටා රිකා හි වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන හතරක මෙම කෘතීම බිත්තර 101ක් ස්ථානගත කර, ඉන් සොරකම් කරන ලද ඒවායේ ගමන් මග සාර්ථකව නිරීක්ෂණය කළ බව පැවසේ.

මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඇතැම් කිඹුලන් විශේෂ වැනි විවිධ වූ සත්ව විශේෂ සංරක්ෂණ කටයුතු සඳහාද මෙම තාක්ෂණය යොදා ගත හැකි වනු ඇති බව පර්යේෂකයන්ගේ මතයයි.

 

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version