මුල් පිටුව special නිදන්ගත වකුගඩු රෝගීන්ට විද්‍යාවෙන් හාස්කමක්

නිදන්ගත වකුගඩු රෝගීන්ට විද්‍යාවෙන් හාස්කමක්

0

“ආරෝග්‍යා පරමා ලාභා” ලෙස බුදු බණෙහි සඳහන්ව ඇත්තේ සැබවින්ම “නීරෝගී බව උතුම්ම සම්පත” නිසාවෙනි. එනම් ගිලන් බව මහත් වූ වියහියදම් මෙන්ම, අනේකවිධ පවුල් හා සමාජමය ගැටළුද ඇති කරන්නක් බැවිනි.

අප රටේද කාලාන්තරයක් තිස්සේ ඒකපුද්ගල මෙන්ම සාර්ව ආර්ථික ගැටළු රැසක් ඇතිකළ කරුණක් බවට පත්ව ඇති වකුගඩු රෝගය නිසා බොහෝ කලක් තිස්සේ බොහෝ පිරිසක් විවිධ වූ ආකාරයේ ගැටළු වලට මුහුණ පා සිටිති. පසුගිය කාලයේ ඉතා දැඩිලෙස කතාබහට ලක්වූ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය, අනුරාධපුරය, පොළොන්නරුව සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඉතා බහුලව දක්නට ලැබෙන රෝගයකි. කෘෂිකාර්මික කටයුතු සඳහා කෘතීම පොහොර භාවිතය සහ විවිධාකාර වූ කෘෂි රසායන ද්‍රව්‍ය කෘමි නාශක ලෙස භාවිතය නිසා භූගත ජලයට බැර ලෝහ වැනි ජෛව පද්ධතියට අහිතකර ද්‍රව්‍යයන් එකතුවීම මේ සඳහා හේතු වන්නට ඇතැයි ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට 2,000ක පමණ පිරිසක් මෙම රෝගය නිසා මියයන බව පැවසේ. මේ සඳහා නිසි ප්‍රතිකාරයක් නොමැති බව පැවසෙන අතර Hemodialysis නම් ප්‍රතිකාර ක්‍රමවේදය මගින් කෘතීමව රුධිරය පෙරීමකට ලක් කරමින් රුධිරය පිරිසිදු කිරීම සිදුකරයි. වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත්නම් දායකයකුගේ වකුගඩුවක් බද්ධ කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. නමුත් වකුගඩු බද්ධයකට සුදුසු වකුගඩුවක් දායකයකුගෙන් ලැබීම සඳහා සෑහෙන කාලයක් තිස්සේ බලාසිටීමට රෝගීන්ට සිදුවී ඇත.

වකුගඩු රෝගයට මීට වඩා සරල විසඳුමක් ඇත්නම් එය කෙතරම් අගනේද? ලොව පුරා වෙසෙන සුවහසක් වකුගඩු රෝගීන්ට නවමු බලාපොරොත්තුවක් එක්කරමින්, කිසිදු Hemodialysis ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන, කෘතීම වකුගඩුවක් සාර්ථකව නිර්මාණය කිරීමේ පුවතක් මීට ටික කලකට පෙර ඇමරිකාවෙන් වාර්තා විය.

ඇමරිකාවේ වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ විලියම් ෆිසෙල් සහ සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ෂූවෝ රෝයි යන විද්‍යාඥයින් දෙපොළ විසින් කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම විශ්වකර්ම නිර්මාණය එලිදක්වා ඇත.

නවීන තාක්ෂණික microchips සමග සජීවී වකුගඩු සෛල එක්කරමින් නිර්මාණය කර ඇති මෙම කෘතීම වකුගඩුව, සාමාන්‍ය වකුගඩුවක කාර්යය මැනවින් ඉටුකිරීමට සමත් බව පැවසේ. රුධිරයේ අඩංගු විශද්‍රව්‍ය මෙන්ම ශරීරයට අවශ්‍ය සංඝටක මනාලෙස වෙන්කර හඳුනාගනිමින් රුධිරය පිරිසිදු කිරීම මෙමගින් සිදු කළ හැකි අතර හෘදය මගින් බලගැන්වීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. මෙය පහසුවෙන් සාමාන්‍ය ශල්‍යකර්මයක් මගින් ශරීරයේ ස්ථානගත කළහැකි බවද වාර්තා වේ.

මෙහිදී හෘදය මගින් බලගැන්වෙන microchips 15ක් රුධිරය පෙරණයක් ලෙස ක්‍රියා කරයි. මේ සඳහා සජීවී වකුගඩු සෛල උපකාරී වන අතර ඒවා වකුගඩුවක කාර්යය ඉටුකිරීමට හැකි ලෙස යන්ත්‍රය සමග වර්ධනය වේ. මේ නිසා Hemodialysis ප්‍රතිකාරයක අවශ්‍යතාවයක් මතු නොවන අතර පර්යේෂකයන් පවසන පරිදි මෙය රෝගියාට ජීවිතකාලය පුරාවටම පාවිච්චි කල හැක.

මෙම නිර්මාණය පිළිබඳව Research News Vanderbilt ප්‍රකාශනයට අදහස් දක්වමින් ෆිසෙල් විසින් පවසා ඇත්තේ මෙමගින් සොබාදහමේ වසර මිලියන හැටක පර්යේෂණ හා සංවර්ධන කටයුතු (Research & Development Work) තමන් විසින් ඉටු කිරීමට උත්සාහ ගත් බවත් වාසනාවකට මෙන් සජීවී වකුගඩු සෛල, විද්‍යාගාරයක් තුළ වගා කරමින් තම නිර්මාණයට අන්තර්ගත කිරීමට තමන් සමත්වූ බවයි.

ශ්‍රී ලංකාවේද වකුගඩු රෝගයෙන් පීඩා විඳින සුවහසක් රෝගීන්ට මෙය සුභම සුභ ආරංචියක් වේවා යැයි අපද ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටිමු.

 

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version