මුල් පිටුව special ආහාර අර්බුදය විසඳන අළුත්ම විප්ලවය දියයට වගාවද?

ආහාර අර්බුදය විසඳන අළුත්ම විප්ලවය දියයට වගාවද?

0

ලෝක ආහාර අර්බුදයට විසඳුමක් ලෙස අපූරු සංකල්පයක් උතුරු අයර්ලන්තයේ, මිනිසුන් 150ක් තරම්වූ ඉතා සුළු ප්‍රමාණයක් ජීවත්වන රත්ලින් නම් වූ කුඩා දූපතකින් පසුගියදා වාර්තා විය. එනම් දිය යට වගාකරන ඇල්ගීමය මුහුදු පැළෑටි (Kelp) විශේෂයකි. ග්‍රෑමයක අඩංගුවන ප්‍රෝටීන අන්තර්ගතය සැලකීමේදී, ගව මාංශවල අඩංගුවන තරමේම ප්‍රෝටීන ප්‍රමාණයක් මෙම පැළෑටිවල අඩංගු බව පැවසේ. මීට අමතරව, ශරීරයේ DNA නිෂ්පාදනය සහ ස්නායු පද්ධතිය හා රුධිර සෛලවල නීරෝගීභාවය සඳහා ඉවහල් වන B12 විටමිනයද අඩංගු – සත්ව මාංශමය නොවන ආහාර වර්ග අතරින් ප්‍රධාන තැනක් ගන්නා ආහාර වර්ගයක් ලෙසද මෙම Kelp හැඳින්වේ.

කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින් ප්‍රභාසංස්ලේෂණය මගින් ඔක්සිජන් වායුව පිටකිරීම අතින් ඉතා කාර්යක්ෂම සේවාවක් ඉටු කරනු ලබන මුහුදු පැළෑටි සහ ඇල්ගී මගින් ලෝක ඔක්සිජන් නිෂ්පාදනයෙන් හරි අඩක්ම සිදු කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන අන්දමට මුහුදු පැළෑටි වගා කිරීම මගින්, ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් ආහාර අර්බුදයට විසඳුමක් ලැබීම මෙන්ම කාලගුණික විපර්යාස වලට මුහුණ දීමටද මනා පිටුවහලක් ලැබේ.

වසර 2005 – 2015 අතර කාලය තුළ ලෝක මුහුදු පැළෑටි නිෂ්පාදනය දෙගුණයක්වී ඇති අතර 2018 වසරේදී සමස්ථ නිෂ්පාදනය ටොන් මිලියන 33ක් වූ බවට වාර්තා වේ. නමුත් තවමත් මෙය එතරම් ප්‍රචලිත ආහාරයක් නොවන අතර සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ දූපතක් වන ශ්‍රීලංකාවේද, වගාවක් හෝ ආහාරයක් වශයෙන් එතරම් ප්‍රචලිත වී නොමැත.

මේ පිළිබඳව අදහස් දක්වමින්, බ්‍රිතාන්‍ය රජය යටතේ පවතින Centre for Environment Fisheries and Aquaculture Science (CEFAS) ආයතනයේ ජෛව පද්ධති පිළිබඳ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ (Senior Ecosystem Scientist) එලීසා කැපූස්zසෝ විසින් පවසා ඇත්තේ බොහෝ දෙනා ආහාරයක් ලෙස මුහුදු පැළෑටිවල ඇති වටිනාකම අවබෝධ කරගෙන නොමැති බවත්, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් බවයි. එමගින් නව ආහාර රටාවක් නිර්මාණය කරගැනීම මෙන්ම නව වෙළඳපොළක් ගොඩනැගීමද සිදුවන බව ඈ විසින් වැඩිදූරටත් පවසා ඇත. කෙසේවෙතත් මෙම කර්මාන්තය වර්ධනය වත්ම එය මනාලෙස කළමණාකරණය කරගතයුතු බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කළයුතු බවත් ඇයගේ අදහසයි.

සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ ගොඩබිමක් ලෙස ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ද පාරිසරික නිර්දේශයන්ට යටත්ව මෙවැනි ව්‍යාපෘති දියත් කළහැකිදැයි සොයාබැලීම නව වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට ඇති මහඟු අවස්ථාවක් නොවේද?

 

 

 

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version