මුල් පිටුව විශේෂාංග සුළං බලයෙන් ක්‍රියා කරන ලොව විශාලතම නෞකාව “Oceanbird”, මෝටර් රථ ප්‍රවාහනය සඳහා…

සුළං බලයෙන් ක්‍රියා කරන ලොව විශාලතම නෞකාව “Oceanbird”, මෝටර් රථ ප්‍රවාහනය සඳහා…

0

අනාදිමත් කාලයක පටන් සමුද්‍ර තරණය සඳහා සුළං බලය භාවිතා වු බව නොරහසකි. මෑතක් වනතුරුම ශ්‍රීලංකාවේද ධීවර කටයුතු සඳහා රුවල් ඔරු භාවිතා වූ අතර, රුවල් නැව් මගින් දේශ ගවේෂණයේ යෙදෙන්නන් පිළිබඳ පලවූ අතීත පුරාවෘත ගෑන අප ඕනෑතරම් අසා ඇත. සමුද්‍ර තරණය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින්, සමුද්‍ර ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු පරිච්ඡේදයක් සටහන් කරමින්, සුළං බලයෙන් ක්‍රියා කරනා මෝටර් රථ ප්‍රවාහන නෞකාවක් නිෂ්පාදනය කිරීමට ස්වීඩන් සමාගමක් කටයුතු කරනා බව විදෙස් මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුණි.

ස්වීඩන් රජයේද ආධාර ඇතිව තවත් ආයතන කිහිපයක් සමග එක්ව ස්වීඩනයේ Wallenius Marine සමාගම මගින් මෙම Oceanbird නෞකාව නිෂ්පාදනය සඳහා පිඹුරුපත් සකස් කරමින් පවතින අතර වසර 2024දී මෙම නෞකාව නිෂ්පාදන කටයුතු අවසන් කිරීමට නියමිතය.

අඩි 650ක දිගින් යුතු මෙම නෞකාව, ප්‍රමාණයෙන් දැනට භාවිතා වන සාමාන්‍ය මෝටර් රථ ප්‍රවාහන නෞකාවකට සමාන වන අතර මෙමගින් වරකට මෝටර් රථ 7,000ක් එකවර ප්‍රවාහනය කළ හැකි බවට වාර්තා වේ. බඳේ සිට අඩි 260ක් ඉහළට එසවුණ හැකිලියහැකි (telescopic) රුවල් පහක් නිසා මෙහි හැඩයට අපූර්වත්වයක් එක්වන අතර මෙම රුවල් එකිනෙකට ස්පර්ශ වීමකින් තොරව අංශක 360කට භ්‍රමණය කළහැකිවීම සහ පාළම් යටින් ගමන් කිරීමේදී හෝ දැඩි මුහුදු කුණාටු වැනි අවස්ථා වලදී එම රුවල්, උස අඩි 195 දක්වා අඩු කළහැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. ටොන් 35,000ක බරින් යුතු මෙම නෞකාවට බලය සැපයීම සඳහා නිර්මිත රුවල්, සුවිශේෂී වානේ මිශ්‍රිත සංයෝගයකින් නිමවනු ඇති බව පැවසේ.

නෞකාවක රුවල් නිර්මාණය කිරීමේ තාක්ෂණය අළුත් දෙයක් නොවූවද, මෙතෙක් ලොව නිර්මාණය කළ විශාලතම රුවල් මේවා වන බැවින් තමන්ට මෙය දැඩි අභියෝගයක් වූ බව Oceanbird ව්‍යාපෘතියේ සහ Wallenius Marine ආයතනයේ ව්‍යාපෘති පර්යේෂණ කළමණාකාර, නාවුක සැලසුම්ශිල්පී, මයිකල් රසෝzලා විසින් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් රසෝzලා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමට, අත්ලන්තික් සාගරය තරණය කරනා තම සමාගමට අයත් නෞකාවල ඉහළම ස්ථානයේ රැඳවූ සංවේදක මගින් කාලයක් තිස්සේ තොරතුරු ලබාගත් බවයි.

RoRo නමින් හැඳින්වෙන සාමාන්‍ය මෝටර් රථ ප්‍රවාහන නෞකා මගින් දිනකට ඉන්ධන ටොන් 40ක් පමණ භාවිතා කරනු ලබන අතර මෙමගින් කාබන් ඩයොක්සයිඩ් ටොන් 120ක් පමණ පිටකරන බවද පැවසේ. මෙය මෝටර් රථයක් සැතපුම් 270,000ක් ධාවනයේදී විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වේ. සාමාන්‍ය මෝටර් රථ ප්‍රවාහන නෞකා මෙන් Oceanbird මගින් 90%ක ප්‍රමාණයකින් කාබන් විමෝචනය අඩූවන බවද වාර්තා වේ.

වේගය අතින් සාමාන්‍ය මෝටර් රථ ප්‍රවාහන නෞකාවලට (සාමාන්‍ය වේගය නාවික සැතපුම් 17) වඩා Oceanbird නෞකාවේ වේගය අඩු (සාමාන්‍ය වේගය නාවික සැතපුම් 10) වනු ඇති අතර මේ නිසා අත්ලන්තික් සාගරය තරණය කිරීමට ඒ සඳහා දින 12ක් ගතවනු ඇති බව පැවසේ (සාමාන්‍ය මෝටර් රථ ප්‍රවාහන නෞකාවකට මේ සඳහා ගතවන්නේ දින හතකි).

කාබන් විමෝචනය අධික ක්ෂේත්‍රයක් වන නාවික පරිවහන කටයුතු මගින් 2018 වසරේ දී මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන සමස්ථ ලෝක කාබන් විමෝචනයෙන් 2.89%කම දායකත්වයක් ලබා දී ඇත. ලෝක නාවික පරිවහන කටයුතු පරිපාලන කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන International Maritime Organization (IMO) ආයතනය මගින් නිර්දේශ කර ඇත්තේ වසර 2050වන විට නාවික කටයුතු වලදී සිදුවන හරිතාගාර වායු විමෝචනය 50%කින් අඩුකල යුතු බවයි. Oceanbird යනු මෙම ඉලක්කය සපුරාලීමට ගත් සාර්ථක උත්සාහයක් වනු ඇති බව නොඅනුමානය…

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version