මුල් පිටුව සත්‍යගවේෂී දියසේන කුමාරයටවත් පුළුවන්ද?

දියසේන කුමාරයටවත් පුළුවන්ද?

0

අපි ජාතියක් ලෙස අපේ බලාපොරොත්තු, අපේක්ෂා ඉටු වනතුරු දෑස් දල්වා බලා සිටින්නෙමු. අපේ දියුණුව කවුරුන් හෝ ඉටු කර දෙන තෙක් කට ඇරගෙන ඉන්න අපට පුළුවන් ය. අපි තුන්වෙනි ලෝකයේ හැමදාම සංවර්ධනය වෙමින් පවතින්නේ ඒ නිසාය. අතීතයේ සිට දියසෙන් කුමාරයා පැමිණ අපව ගලවා ගනිතැයි පාරම්පරිකව විස්වාස කරන්නෙමු. දියසෙන් කුමරුන් රාශියක් ආහ, ගියාහ. එනවිට “අපේ දියසෙන්, මේ අපේ බලාපොරොත්තුව…” කියමින් නැටුවෙමු. එහෙත් ආපු “දියසෙන්” ලා කල් ගතවෙද්දී “සුන්” වූහ.

ඒ ඇයි?

සත්‍යගවේෂීට හිතෙන්නේ මෙහෙමය.
ආපු දියසෙන් ලා ඇත්තටම දියසෙන්ලා ය. උන්, සුන් කලේ අපිමය.

එහෙම වුනේ ඇයි?

රටක් ගොඩනගන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය. එහෙත් අපට එවැන්නක් නැත. තියෙන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බලධාරින්ට වුවමනාවක් නැත.

ඒ ඇයි?

වුවමනාවක් තියෙන එකාට කරන්න ගියාම කකුලෙන් අදින්නෝ වැඩිය. කුහකයින් එමටය. මක් නිසාද යත්, බලධාරින්ට රටක් ලෙස ගොඩනැංවීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගේ පටු පෞද්ගලික න්‍යායපත්‍ර ඉටු කර ගැනීමට පමණක් ක්‍රියාත්මක වන නිසාය.

“සිල් රෙදි නඩුව” පටලැවීමෙන් පසු බොහෝ රජයේ නිලධාරින් තීරණ ගැනීමේදී මන්දෝත්සාහී වූහ. යම් ඍජු තීරණයක් ගත යුතු අවස්ථාවේදී අනෙකුන්ට “බෝලෙ පාස් කිරීම” හැර කිසිදු කටයුත්‍තක් කිරීමට ඔවුන් පැකිළුනහ. එහි ප්‍රතිඵල සාමාන්‍ය ජනතාව ලෙස අප අත්වින්දෙමු, තවමත් අත්විඳින්නෙමු.

රජයේ නිලධාරියා දුෂ්ඨ දේශපාලුවාගේ වෛරයට පාත්‍රවීමෙන් පසු නිලධාරින් බොහෝමයක් තීරණ නොගෙන සිටියේ, “ඕවා කරලා හිරේ තපින්න බෑ” කියමිනි. ඔවුන් ඇත්තටම බියවී කිව් කතාවක්ද?, නැතහොත්, වැඩෙන් ලිස්සා යාමේ අරමුණෙන් කල කී දෙයක් ද යන්න හොඳින්ම දන්නේ ඔවුන් සහ උඩ ඉන්නවා යැයි කියන දෙයියන් ය!

රාජ්‍ය නිලධාරින් මෙයට වගකිව යුතු නොවෙද?

රජයේ වේතනලාභී බොහෝ රාජ්‍ය නිලධාරින්, උගතුන් වූයේ ජනතා බදු මුදලිනි. එහෙත් සමහරක් වගකිව යුතු රාජ්‍ය නිලධාරින් තම “සැබෑ ස්වාමියා” වන රටවැසියා වෙත නොසලකමින් “අනියම් ස්වාමියා” වන දේශපාලනඥයා ට  (සත්‍යගවේෂි නම් මුන්දැලාට කියන්නේ “දේශපාලන ගඳයා” කියා ය) වන්දනය කරමින් කටයුතු කරති.

දේශපාලනඥයා “ඉර” පෙන්වා “හඳ” යැයි කීවොත්, “යෑස් සෑර්” කියන්නාවූ රාජ්‍ය නිලධාරීන් එමටය. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහාමය.  මෙනිසා දේශපාලඥයාගේ කීමට උඩින් කිසිවක් නොවේ. රටට අවාසි තීන්දු තීරණ ක්‍රියාත්මක වන්නේ “රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලුවන්”ගේ “අනියම් දීගය” නිසාය. බොහෝමයක් රාජ්‍ය නිලධාරී පත්වීම්, දේශපාලනිකව සිදු වූ ඒවාය. ආණ්ඩුමාරුවේදී “ටයි එක” මාරු කරගත හැකිනම් ද, ඕනෑම බොරුවක් පක්කලි වැඩක් නිර්ලජ්ජිතව කල හැකි නම් ද, රාජ්‍ය සේවකයා අතිශයෙන්ම ආරක්ෂිතය. මේනිසා රටක් ඉදිරියට දක්කන්න අමාරුය.

අධික ණයබර

ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමත්, අධික ණය බරින් පෙලෙන රටක් වීමත් නිසා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇත. විදේශීය ණය හිමියන් අදින නූල් වලට නටන රූකඩ බවට අප රජය පත්ව ඇත. අප රට “එදා වේල ටුවර්ස්” එකක් වී ඇත. යහපත් ප්‍රතිපත්තියක් ගොඩ නැංවුවත්, ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇත්තේ මෙනිසා ය.

No photo description available.

දූෂිත දේශපාලනඥයින්

රටේ බහුතරයකගේ ආකල්ප හේතුවෙන් තේරී පත්වන්නේ ඉතා දූෂිත දේශපාලනඥයින් ය. යහපත් අයෙක් පත් වුවහොත් පළමුවෙන්ම අනෙක් අය උත්සාහ ගන්නේ තමා මෙන්ම දූෂිතයෙක් බවට පත්කරවා ගැනීමය. නැතහොත්  අවංකයා අතුගා දෑමට කටයුතු කරති. දේශපාලනය යනු “මාෆියාව” කි. මාෆියාවට අනුගත නොවුන හොත් වන දෙය “ප්‍රසිද්ධ රහසකි”.

එක රටක් නීති ගොඩක්

දියුණු රටකට වඩා අපේ රටේ නීති වැඩිය, අධිකරණ වැඩිය. ඒ වැඩ පහසු කිරීමට නොව, වැඩ වැඩි කිරීමටය. රටේ නීතිය බලවතාට සහ බොහෝවිට බවලතාටද නැවෙන්නකි. අසරණයා සහ වැඩක් කරන අවංකයාට නොනැවෙන නීතියකි.

බොරුකාරයාට නීතිය යනු ආවුදයකි. වැඩකාරයාට එරෙහි ආයුධයකි. සමහර ජනවර්ග වලටද නීතිය හොඳටම නැවේ!. විනිසුරන්ද දේසපාලුවන්ගේ පාමුල දෙකට නැවුන බව “වන්ෂොට් ගේ හඬපට” දෙස් දේ. මිනීමරුවා නිදහස් කරන නීතිය අසරණයා පෝරකයට දක්කයි. ඒ “ඇත්‍ත බොරුව කරන, බොරුව ඇත්ත කරන” කට ගඳ කළු කෝට් කාරයන් නිසාය. උන්ට මඩිය තරවේනම් ඕන දෙයක් ඔට්ටුය.

කුහක සමාජවාදින්

මොවුන් ආදරණීයව හඳුන්වන්නේ 3% ලෙසය. හොඳ නිදහස් අධ්‍යාපනයක් ඇති ලංකාවේ අධ්‍යාපනය වනසන කුහකයින් මොවුන් ය. නිදහස් සෞඛ්‍යය වනසන්නේ මොවුන් ය. භීෂණ සමයක් ඇතිකොට රාජ්‍ය දේපල වැනසුවේ මොවුන් ය. මේ කොවිඩ්-19 වසංගතයේ දී ගුරුවරුන් පාරට දැක්කුවේ මොවුන් ය. ගුරුවරුන් කොරෝනා රෝගීන් කලේද, ඔවුන්ට සමාජයේ තිබෙන ගරුත්වය නසා දැමුවේද මේ කාලකන්නි සමාජවාදින් ය. පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ලෙස අධ්‍යයන කටයුතු පවත්වාගෙන යද්දී රජයේ අධ්‍යාපන සේවය කඩාකප්පල් කිරීම හරහා දුප්පත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය නසාලන්නේ මොවුන් ය. රටේ කර්මාන්තශාලා නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඒවා වැඩ වර්ජන හරහා විනාශ කරන්නේ මොවුන් ය.

දේශපාලනඥයින් නටවන ධනවතුන්

දේශපාලනඥයින් නටවන බලවේග දෙකකි. එනම්, අවස්ථාවාදී ධනවතුන් සහ විදෙස් ඔත්තු සේවා ය. දේශපාලනඥයාට සියලු වරදාන දී නඩත්තු කරන්නේ මොවුන් ය. දේශපාලනඥයා නටවන්නේද මොවුන් ය. දේශපාලන්ඥයා හරහා මුළු රටම නටවන්නේ මොවුන්‍ ය.

චේන්ජ් කල යුතු සිස්ටම් එක.

ඉහත දැක්වූ සියල්ලම වෙනස් කල යුතුය. හැමෝම සිස්ටම් එක චේන්ජ් කල යුතුයි කීවද, මොනවා, කොහොම, කෙසේ වෙනස් කල යුතුදැයි නොදනී. අවම වශයෙන් තමා වෙනස් වීමටවත් උත්සාහ නොගනිති.

දියසේනට වචනයක්

ජනතාව අපේක්ෂා කරන දියසේන ඔබ නම් ඔබ,
1. රටට දැයට, ජනතාවට දිවි දෙවෙනි කොට ආදරය කරන්න.
2. ඒ බව ක්‍රියාවෙන් පෙන්වන්න
3. කියන දේ කරන්න. කළ හැකි දේ පමණක්ම කියන්න.
4. නිහතමානී වන්න
5. හොඳ සවන් දෙන්නෙක් වන්න.
6. කිසිවෙකුව අන්දන්න එපා. කාටවත් ඇන්දෙන්නත්  එපා.
7. බුද්ධිමත්ව එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න.

එවිට අපේ මනෝ රාජ්‍යය දියසේනට ගොඩ නැංවිය හැක. දියසේන අවංක නම්, බුද්ධිමත් නම් හැමෝම ඒ වටා එක් වනු ඇත.

එඤ්ඤං
මම
සත්‍යගවේෂී

සත්‍යගවේෂී

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version