මුල් පිටුව special තලිබාන් සටන් උපක්‍රමයන් පෙන්නුම් කරන පාඩම්

තලිබාන් සටන් උපක්‍රමයන් පෙන්නුම් කරන පාඩම්

0

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුලු රටේ බහුතරයක් ප්‍රදේශවල බලය තලිබාන් (Taliban) සංවිධනය විසින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ. බොහේ දෙනාට විශ්මය දනවන තරම් වේගයකින් එරට බලය අත්පත් කරගත් තලිබාන් සංවිධානය දෙවන වරටත් කාබුල් නගරය තම ග්‍රහනයට ගෙන තිබේ.(මුල් වරට එය සිදු වූයේ 1996 වසරේදීය​)

ඉතාමත් පසුගාමී සහ ම්ලේච්ඡ දේශපාලනික සහ සමජ මතවාදයක් දරමින්,ඉතා නවීන අවි මෙන්ම ක්‍රමෝපායිකව ඉතා දූරදර්ශී සහ ක්‍රමානුකූල මෙහෙයුම් සමුදායක් මගින් රාජ්‍ය බලය තමන් සතු කර ගැනීම කෙනෙකුට එක් වරම තේරුම් ගත නොහැක්කකි.එසේම​,වැඩි අධ්‍යාපනයක් නොලද්දවුන් පිරිසක් ලෙස හඳුන්වන්නට යෙදුනු තලිබාන් නායකයන් මේසා ක්‍රමානුකූල සහ විශේශිත යුධ උපක්‍රම දැනුමක් කෙසේ ලබා ගත්තාද​,නැතිනම් ඔවුනට කිසියම් බාහිර පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් එම දැනුම සහ උපදෙස් දුන්නාද යන්නත් වෙනමම විමසිය හැකි කරුනු වේ.


නමුත්,මෙහිදී මවිසින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ 1994 සිට තලිබාන් සංවිධානය කෙරේ අවධානය යොමු කරමින් සහ ඔවුන් යොදා ගන්නා සංග්‍රාම ක්‍රමෝපායන් සහ උපක්‍රම ඇසුරින් අපට ජීවිතයට සහ එදිනෙදා භාවිතයට ලබාගත හැකියැයි කියා සිතෙන කරුනු ගනනාවක් ගෙන හැර දැක්වීම පමනි.මෙය කිසිසේත් එම සංවිධානය කෙරේ පැහැදීමකින් කරන ක්‍රියාවක් නොවන බවද කලින්ම සඳහන් කල යුතුය​.

1994 දී මුල් අවස්ථාවේදී තලිබාන් සංවිධානය කෙරේ යම් ප්‍රසාදයක් මා තුල තිබුනත්,ඔවුන් අනුගමනය කල ඒක දේවවාදී ඉස්ලාම් අන්තවාදයත්,කුරිරු සහ ම්ලේච්ඡ ක්‍රමවේදයන්,කාන්තාවන්ට සලකන ඉතා පසුගාමී සහ කුරිරු ආකාරයත්,අන් ආගම් තහනම් කිරීමත්,හසාරා (Hazara) ගෝත්‍රිකයන් සමූල ඝාතනය වැනි ම්ලේච්ඡ ක්‍රියාත්,බෞද්ධ අපට මහත් වේදනාවක් ගෙනදුන් බාමියන් බුදු පිලිම විනාශ කිරීමත් නිසා ඔවුන් කෙරේ ගොඩ නැගෙමින් තිබූ අප්‍රසාදය පිලිකුලක් තරමට වර්ධනය වී තිබිනි.

නමුත්,යම් සිද්ධියක් හෝ සිද්ධි මාලාවක් විග්‍රහයේදී පුද්ගලික හෝ දේශපාලනමය දෘශ්ථියකින් හෝ හැඟීම් හෝ ආවේගයන්ට අනුව නොබලමින් එම සිද්ධීන් හැකිතාක් දුරස්ථව සහ අපක්ශපාතීත්වයන් සහ නිරවුල් ලෙස බැලීමේ ක්‍රමය තුලින් පමනක් බලමින් මෙම විමසුම සිදු කරන ලද බවත් විශේශයෙන් සඳහන් කල යුත්තකි.එසේම​,යමක් ඉගෙනීමේදී ආදර්ශමත් හෝ ප්‍රියජනක අයගෙන් පමනක් නොව සෑම ආකාරයකම අයගෙන් ඉගෙනීම වැදගත් බවත් අතීතයේ සිට අනුගමනය කරන්නකි.

ඒ අනුව තලිබාන් සංවිධානය කෙරේ මගේ පුද්ගලික මතවාදය පසෙකලමින් ඔවුන් අපට පෙන්වාදෙන වැදගත් දේ ඉගෙන ගැනීමට පසුබට නොවෙමි.මෙසේ බලන අන් අයටද ඒවා යම් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතන බැවින් මෙසේ දක්වන්නෙමි.

තලිබාන් සංවිධානයේ ප්‍රධාන උපක්‍රම සහ ක්‍රමෝපායන් වන්න්නේ:
1. සංවිධානය නොනසා පවත්වාගෙන යාමට දරන විශාල උත්සාහය​.
2. සාමූහික නායකත්වය​.මෙහි නායකයන් ලෙස විවිධ අය සිටියද තීරන ගන්නේ ක්වෙටා ශූරා (Quetta Shura) නම් නායකත්ව මන්ඩලයක් මගිනි.එසේම ප්‍රාදේශීය වශයෙන්ද මෙම ආකෘතියේම නායකත්ව මන්ඩල තිබේ. මේ නිසා නායකයන් යම් පිරිසක් අහිමිවීම දරාගත හැක.
3. ක්‍රමෝපායික හේතු වෙනුවෙන් මිස අභිමානය වෙනුවෙන් සටන් නොකිරීම.​
4.දුර්වලතාවයන් දුටු විට ඉක්මනි පසුබැසීම​.මෙය මුල් වරට දුටුවේ 1996 වසරේ මුල් කාලයේදී ඔවුන් සරෝබි හරහා කාබුල් නගරය අත්පත් කර ගැනීමේ උත්සාහයත් සමඟය​.එහිදී දැඩි ප්‍රතිරෝධය හමුවේ දිගටම සටක් කිරීම වෙනුවට එක් වරම බොහෝ දුරකට පසුබැසීම සිදු කලේය​.එසේම 2001 දෙසැඹර් මාසයේදී කාබුල් සහ පසුව අනෙක් ප්‍රධාන නගර අතහැර දමා පසුබැසීම දෙවන අවස්ථාවයි.
5.සතුරා ප්‍රබල විට කාලය වෙනුවෙන් භූමිය ලබාදීමේ (Exchanging Space for Time) ක්‍රමවේදය​.මින් අදහස් කරන්නේ ප්‍රබල සතුරාව පිටුදැකීමට සුදුසු අවස්ථාව උදාවන තුරු උපාය මාර්ගික ලෙස පසුබසිමින් බූමිය සතුරාට අත්පත් කරගෙන සිටීමට ඉඩ දීමයි.1803 දී මහනුවර අතපත් කරගැනීමට ඉඩදී පසුබැස ගිය අපේ හමුදාවත්,1812දී මොස්කව් නගරය නැපෝලියන්ට අත්පත් කර ගැනීමට ඉඩදී පසුබැස ගිය රුසියන් හමුදාවත් මීට අතීත නිදසුන් වේ.

6.සටන අත්නොහැර අඩු තීව්‍රතාවයකින් පවත්වා ගෙන යාම​.තමන් පරාජය වී හෝ විනාශ වී නැති බව ජනතාවට සහ ලොවට පෙන්වා දීමට මොවුන් 2001-2021 තෙක් දිගටම මෙවන් ක්‍රයාවල නිරත විය​.
7.නිරතුරුව තම ශක්තිය වර්ධනය කර ගැනීම​.සාමාන්‍ය භට කන්ඩායම් වලට අමතරව ඔවුන් පසු කාලීනව විශේශිත භට කන්ඩායම් මෙන්ම රතු ඒකක​(Red Units) නමින් ඔවුන් හඳුන්වන කොමාන්ඩෝ භට කන්ඩායම් පවා ඇතිකරගෙන තිබේ.(තුන්වන ඡායාරූපය​)
8. නව ක්‍රමෝපායන් භාවිතය​.
9.නවීන තාක්ශනයන්ට ඉතා කඩිනමින් අනුගත වීම.​
10.සුදුසු අවස්ථාව එනතුරු උපේක්ශා සහගත ලෙස බලා සිටීම​.ඔවුන් යලිත් කාබුල් කරා පැමිනීමට දශක දෙකක කාලයක් සහ ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීම සිදුවන තෙක් මෙසේ සිටීම විශේශයෙන් පෙනෙනා කරුනු වේ.
11. සුදුසු අවස්ථාවේදී වුවත් මුල් අවස්ථාවේදී සතුරා පරීක්ශා කරමින් ඉතා සෙමින් ඉදිරියට පැමිනීම​
12.පහසු ඉලක්ක ඉක්මනින් සහ මුලින් අත්පත් කර ගැනීම​.
13.සතුරාට ප්‍රධාන වශයෙන් වටිනා ක්‍රමෝපායිකව වැදගත් ස්ථාන (මර්මස්ථාන​) හැකි ඉක්මනින් නතු කර ගැනීම​.
14.ප්‍රතිලෝම ක්‍රමවේදයක් අනුගමනය කරමින් සතුරා නොමඟ යැවීම සහ ව්‍යාකූල කරලීම​.කලින් වතාවේ තලිබාන් සංවිධානය කාබුල් කරා පැමිනියේ බටහිරින් සහ දකුනෙනි.ඉන් පසුවත් උතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ ගනනාවක් තමන්ට නතු නොවී පැවතුනි.නමුත් මෙවර ඔවුන් මුලින්ම උතුරු ප්‍රදේශ තම පාලනයට ගෙන ඊ හරහා කාබුල් ආක්‍රමනය සිදු කලේය​.
15. සෙමින්-සෙමින්-වේගයෙන්-වේගයෙන් උපක්‍රමය (Slow-Slow-Quick-Quick Stratagem) අනුගමනය​.මෙය මෙලෙසින් ගෙන හැර දැක්වීම මාඕ සේතුං විසින් සිදු කලත්,එය 13 වන​ඇ සියවසේදී ජෙන්ගීස් ඛාන් මෙන්ම 1803 දී අපේ හමුදාවන් පවා අනුගමනය කල ක්‍රමයකි.මේ වසරේ මැයි සහ ජූනි මාසවල සෙමින්-සෙමින් ඉදිරියට ඇදුනු තලිබාන් හමුදා ජූලි මස අවසානයේදී වේගයෙන්-වේගයෙන් ඉදිරියට ඒමේ අදියර ආරඹ්හ කරන ලදී.
16.වෙලා ගන්නා පිඹුරා හෙවත් පිඹුරු වෙලුම් (Constricting Python/ Anaconda coils) ක්‍රමවේදය​.පිඹුරෙකු තම ගොදුර වටේ දඟර ලෙස වෙලාගෙන එම වෙලුම් ක්‍රමයෙන් තද කරමින් හුස්ම හිරකිරීමට සම්මනව මොවුන් දැඩි ආරක්ශාව සහිත නගර අවට තිබෙන ප්‍රදේශ අල්ලා ගනිමින් ක්‍රමානුකූලව එම නගර කෙරේ බලපෑම් වැඩි කරන ලදී.
17.වටලා දුර්වල කිරීම​(Encircle and Enfeeble).දුටුගැමුනු රජතුමා විජිතපුඅ බලකොටුව අල්ලා ගැනීමට අනුගමනය කලේ මෙම ක්‍රමවාදයම වේ. මසාර්-ඊ-ශරීෆ් (Mazar-e-Shariff) නගරය වැනි මර්මස්ථාන හමුවේ තලිබාන් සංවිධානය අනුගමනය කලේ මේ උපක්‍රමය විය​.එහිදී ඔවුන් අවට ප්‍රදේශ අලවාගෙන නගරය හුදකලා කර එහි ආරක්ශාවට සිටි සන්නද්ධ කල්ලි වලට සටන නිරර්‍ර්ථක බව ඒත්තු ගොස් පලායන තැනට වක්‍රාකාර බලපෑම් සිදු කිරීම සිදු කරන ලදී.
18. සටන් කිරීමට වඩා එකඟතාවයන් මගින් ප්‍රදේශවල බලය තමන් අතට ගැනීමට සාකච්ඡා සහ සම්මුතීන් ඇතිකර ගැනීම​.
19. අධික ප්‍රවේගයකින් දියත්කරන මෙහෙයුම් වලින් සතුරා වික්ශිප්ත කිරීම සහ පසුබෑමට පෙලඹවීම​.1940 දී ජර්මන් හමුදා ප්‍රංශය අල්ලා ගැනීමට සහ පසුව උතුරු අප්‍රිකාවේ සිදුකල බ්ලීට්ස්ක්‍රීග් (Blitzkrieg) හෙවත් අකුනුපහර මෙහෙයුම් කරමවේදය මොවුන් කාබුල් වැනි සමහර මර්මස්ථාන අල්ලා ගැනීමට යොදා ගන්නා ලදී.1996 දී කාබුල් අල්ලා ගන්නා ලද්දේද මේ ක්‍රමවේදයෙනි.
20. විමධ්‍යගත තීරක ක්‍රමවේදය​.තලිබාන් සංවිධානයේ කටයුතු දෙස ප්‍රවේශමෙන් බලන කල ප්‍රාදේශීය බලමුලු යම් පමනක විමධ්‍යගත නිදහස් ආකාරයකින් තම මෙහෙයුම් කල බව පැහැදිලිව පෙනේ.මෙය ජෙන්ගිස් ඛාන් මෙහෙයවූ මොඞෝල් හමුදා,නැපෝලියන් මෙහෙයවූ ප්‍රංශ හමුදාව සහ 19 සියවසේ මැද භාගයේ සිට දෙවන ලෝක යුද්ධයන් අවසානය තෙක් ජර්මන් හමුදාව තුලත් තිබූ නායකත්ව ව්‍යුහයකි.
21.බහු පෙරමුනු ක්‍රමවේදය​.මෙවර තලිබාන් හමුදා එක්වරම පෙරමුනු කිහිපයකින් සහ වෙනස් ක්‍රමයන් අනුගමනය කරමින් මෙහෙයුම් අරඹමින් ඉදිරියට යාම සිදුවිය​.මෙය සතුරා වික්ශිප්ත කිරීමට මෙන්ම​,සතුරු හමුදා කොටස් වශයන් පරාජයටත් හේතුවිය​.
22.ප්‍රහාරක හමුදාව හැඩයකින් තොරව පවත්වාගෙන යාම​.මේ වසරේ තලිබාන් ප්‍රහාරයේ අවසන් අදියර තෙක් සිතියම් පරීක්ශාවෙන් මෙය මනාවට පෙන්නුම් කෙරේ.එහිදී තලිබාන් හමුදාවේ ඉදිරි පෙරමුන හෝ පෙරමුනු මෙන්ම ඊලඟට සටන් ඇවිලෙන කලපය එය සිදුවන තෙක් අපැහැදිලි විය​.
23.සතුරා මානසික භීශනයට (Psychological Terror) පත්කිරීම​. ඇමෙරිකානු හමුදා වලින් පුහුනුව ලත් සහ නවීම අවි වලින් සන්නද්ධව සිටි ලක්ශ තුනක ඇෆ්ගන් රජයේ හමුදා මෙතරම් පහසුවෙන් මෙන්ම බොහෝ දුරට සටන් නොකරම යටත් කර ගැනීම මෙහි ප්‍රතිඵලයකි.
24. තම ජයග්‍රහනය වැලක්වන්නට නොහැකි සහ ස්ථීර දෙයක් වශයන් ජනතාවට සහප්‍රතිවාදීන්ට ඒත්තු ගන්වන මානසික මෙහෙයුම් හෙවන් මනෝ මෙහෙයුම්වල නිරතුරුව නියැලෙමින් සතුරා මානසිකව දුර්වල කිරීම සහ තමන්ව පිලිගැනීමට පොලඹවා ගැනීම​.

ආචාර්ය ජගත් ගුණවර්ධන

පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version