මුල් පිටුව දේශීය පුවත් න්‍යෂ්ටික විදුලි බලාගාර මෙන් බලශක්තිය නිපදවන, කාර්යක්ෂම ජල විදුලි බලාගාර…

න්‍යෂ්ටික විදුලි බලාගාර මෙන් බලශක්තිය නිපදවන, කාර්යක්ෂම ජල විදුලි බලාගාර…

0

කාලගුණික විපර්යාස, ක්ෂය වෙමින් යන ෆොසිල ඉන්ධන නිධි, බලශක්ති උත්පාදනයේ අහිතකර පාරිසරික බලපෑම සහ දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම වැනි සාධක නිසා නුදුරේදීම ලෝකය උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුන දෙනු ඇති බවට බියක් ලොව පුරා පවතී. මෑත කාලයේ වෙනසුවේලාවේ ඇතිවූ ආර්ථික අර්බුදයටද මූලිකම පදනම වූයේද බලශක්ති කළමනාකරණයේ ඇතිවූ අර්බුදයකි. මේ නිසා විවිධ රටවල කාර්යක්ෂම බලශක්ති පද්ධති ඇති කිරීම සඳහා විවිධාකාරයේ පර්යේෂණ නිරන්තරයෙන් සිදු කරනු ලබයි. සාම්ප්‍රදායික ජල විදුලි බලාගාර ආකෘතියටම සුළු වෙනසක් සිදු කරමින් වඩාත් සඵලදායකවූත් කාර්යක්ෂමවූත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් සාර්ථකව ක්‍රියාත්මක කළ ආකාරයක් පිළිබඳ පුවතක් පසුගියදා ස්විට්සර්ලන්තයෙන් වාර්තා විය.

උත්පාදනය කරන ලද විදුලිය, බැටරිවල ගබඩා කිරීම සාමාන්‍ය ක්‍රමය වුවද වසර 1890 සිට ස්විස් සහ ඔස්ට්‍රියානු ඇල්ප්ස් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන Pumped Water Storage තාක්ෂණය ලෙස හඳුන්වන මෙම ජල විදුලි උත්පාදන ක්‍රමවේදය, ලොව විශාලතම විදුලි ගබඩා කරන පද්ධති බවට වාර්තා වේ.

මෙහි මූලික සංකල්පය වනුයේ ඉහළ සහ පහල පිහිටි විශාල ජලාශ දෙකක් හරහා ජලය පරිවහනය කරවීමෙන් ටර්බයින ක්‍රියාත්මක කරවීම මගින් විදුලි බලය ජනනය කරවීමයි. එනම් විදුලි බලය ජනනය කිරීමට අවශ්‍ය විට ඉහළ පිහිටි ජලාශයෙන් නල මාර්ග ඔස්සේ පහල පිහිටි ජලාශයට ජලය පරිවහනය කරවීමෙන් ටර්බයින ක්‍රියාත්මක කරවීම සහ අතිරික්ත විදුලි ජනනයක් සිදුවන විට පහළ ජලාශයේ සිට නැවතත් ඉහළ ජලාශය වෙත එම ජලයම පොම්ප කරවීමයි.

ටර්බයින් යන්ත්‍රයක්

රසායනික බැටරි, කැරකෙන දැතිරෝද, අධිපීඩිත වායූන් වැනි ක්‍රමවේදය හා සසඳන කල බලශක්ති උත්පාදනයෙහිලා මෙය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් බව පැවසේ. ඇතැම් රටවල මෙම ජලය පහළ ජලාශයේ සිට නැවතත් ඉහළ ජලාශය වෙත ගෙන යාම සඳහා සුළං බලය වැනි බාහිර පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක පොම්ප භාවිතා කරන බවද වාර්තා වේ. මෙහි කාර්යක්ෂමතාවය න්‍යෂ්ටික විදුලි බලාගාරද අභිබවා යන බව පර්යේෂකයෝ පවසති.

නල මාර්ග ඔස්සේ ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය පරිවහනය කිරීමේදී ඒ තුළ තැනින් තැන සවිකරන ලද කුඩා ටර්බයින මගින් ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ඇතැම් රටවල ගත් උත්සාහයන් පිළිබඳවද මෑතකාලයේදී වරින් වර අසන්නට ලැබුණි. කෙසේවෙතත් පරිසරය රැකගනිමින් දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා අවධානය යොමු කරමින් දැන් සිටම පිඹුරුපත් සැකසීම අත්‍යාවශ්‍යයෙන්ම කලයුත්තක් බව නොරහසකි…

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version