මුල් පිටුව special සතුන් නොමරා සුළඟින් නිපදවන ප්‍රෝටීන

සතුන් නොමරා සුළඟින් නිපදවන ප්‍රෝටීන

0

ප්‍රෝටීන යනු සත්ව මාංශවලින් අපහට ලැබෙන ප්‍රධානතම පෝෂකයයි. සියවස් ගණනාවක් තිස්සේ මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලන ලද්දේ සත්ව මාංශ මගිනි. මීට අමතරව ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් පරිප්පු, සෝයා වැනි බෝග වර්ගද වාණිජ වශයෙන් වගාකිරීම සිදුකරයි. නමුත් මේ සඳහා වනාන්තර විනාශ කිරීම, ජල සම්පාදන ක්‍රම නිසා වන පරිසර හානිය, මස් පිණිස සතුන් ඇති කිරීම නිසා සිදුවන හරිතාගාර ආචරණය වැනි කරුණු හේතුවෙන් මේ සඳහා පරිසරවේදීන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත. එවැනි සතුන් ඇතිකිරීම හෝ වාණිජ බෝග වගාවකින් තොරව, වාතය මගින් ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ අපූරු ක්‍රමවේදයක් පිළිබඳ පුවතක්, පසුගියදා විදෙස් පුවත් සේවා මගින් වාර්තා කරන ලදී.

විදුලි ධාරාවක් ඇසුරින් ජලයෙහි අඩංගුවන හයිඩ්‍රජන් කොටස් වෙන්කර, ඒමත පාංශු බැක්ටීරියා විශේෂයක් වර්ධනය කිරීමෙන් ප්‍රෝටීන නිපදවිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව ෆින්ලන්ත පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගියදා සාර්ථක පර්යේෂණයක් සිදු කර ඇත. මෙහිදී මුලින්ම විද්‍යුත් විච්ඡේදනය (Electrolysis) මගින් ජලයෙන් වෙන්කරගත් හයිඩ්‍රජන් වායුව, වාතයෙන් ලබාගන්නා කාබන් ඩයොක්සයිඩ් සහ තවත් පෝශක සමග පාංශු බැක්ටීරියා විශේෂයකට ලබාදුන් විට එම බැක්ටීරියාවන් මගින් ප්‍රෝටීන නිෂ්පාදනය සිදු කරන බව පැවසේ.

ඔවුන් පවසන පරිදි මෙය පරිසර හිතකාමී ආහාර නිෂ්පාදනයේ සාර්ථක කඩඉමක් වන අතර මේ සඳහා අවශ්‍ය විදුලිය නිපදවීම, සූර්ය බලශක්තිය මගින් හෝ සුලං බලයෙන් වැනි පරිසර හිතකාමී ආකාරයට සිදු කරන්නේ නම්, එය සියයට සියයක්ම කාබන් විමෝචනයකින් තොරව ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රමයක් වන බවයි.

“සොලේන්” (Solein) ලෙස නම්කර ඇති මෙම නව ආහාර වර්ගය, පර්යේෂකයන් බලාපොරොත්තු වූ පරිදිම කිසිඳු රසයකින් තොරව නිපදවීමට ඔවුන් සමත්වී ඇති බව පැවසේ. එහෙයින් එය ඕනෑම ආහාරයකට පහසුවෙන් එක්කරගත හැක. සොලේන් ලොවට හඳුන්වා දෙමින්, ඒ පිළිබඳව පර්යේෂණ සිදුකරන, හෙල්සින්කි නුවර පිහිටි Solar Foods ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී – මහාචාර්ය පැසී වයිනික්කා පවසන ආකාරයට මේ පිළිබඳව මූලික අදහස පැමිණියේ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳව මිනිසා උනන්දුවූ අවධියේ සිටයි. අයිස් ක්‍රීම්, බිස්කට්, නූඩ්ල්ස්, පාන් සහ සෝස් වර්ග වලට සොලේන් පහසුවෙන් එක්කරගත හැකි බව පැවසේ. භූමි ප්‍රමාණය භාවිතයෙන් මෙන්ම පරිසර හානිය අතින්ද සළකන විට ඉතාමත් පරිසර හිතකාමී කාර්යක්ෂම ක්‍රමවේදයක් වන මෙමගින් අනාගතයේදී මතුවිය හැකියැයි පැවසෙන ආහාර අර්බුදයට මුහුණ දීමට මනා පිටුවහලක් වනු ඇත.

 

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version