මුල් පිටුව special අන්ධ බව තුරන් කරන නූතන වෛද්‍ය විද්‍යාවේ නව පෙරළිය

අන්ධ බව තුරන් කරන නූතන වෛද්‍ය විද්‍යාවේ නව පෙරළිය

0

නූතන වෛද්‍ය විද්‍යාවේ පෙරළියක් සිදු කරමින්, ඍජුවම මොළයේ සවිකරන සංවේදක හරහා දෑස නොපෙනෙන අයට පෙනීම ලබාදෙන්නට සිදු කෙරෙමින් පවතින පර්යේෂණයක මූලික පියවර සාර්ථකයි…

මෑතකාලීන සංඛ්‍යාලේඛන වලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 285 ක පිරිසක් දෘෂ්‍යාභාධිතය. මින් මිලියන 39 ක පමණ පිරිසක් සම්පූර්ණ අන්ධභාවයෙන් පෙළෙති. ශ්‍රී ලංකාව ගත් කල, වසර 2019 වන විට මෙරට ජනගහනයෙන් 1.7% ක් අන්ධභාවයෙන් පෙළෙන අතර සංඛ්‍යාත්මකව මෙය 364,000 ක පමණ පිරිසක් වේ.

ලොව පුරා සුවහසක් දෘෂ්‍යාභාධිතයන්ට සුභ ආරංචියක් පසුගියදා විදෙස් ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. එනම්, සෘජුවම මොළයට සවිකරන ලද සංවේදක මගින්, දෘෂ්‍යාභාධිතයන්ට දෘෂ්‍යාවබෝධය ලබාදීම සඳහා වඳුරන් ආශ්‍රිතව සිදූකරනලද පර්යේෂණයක් සාර්ථකව සිදු කිරීමට පර්යේෂණ කණ්ඩායමක් සමත් වීමයි.

නෙදර්ලන්තයේ Institute for Neuroscience ආයතනයේ කණ්ඩායමක් මගින් මෙම පර්යේෂණය සිදු කරනලද බව පැවසෙන අතර මෙහිදී වඳුරන් දෙදෙනෙකුගේ මොළයෙහි දෘෂ්ටි සංවේදී කළාපයට (Visual Cortex) විදුලි සංඥා ගෙනයන සහ ගෙනඑන ඉලෙක්ට්‍රෝඩ (සන්නායක) 1024 බැගින් සවිකර, සංවේදන ලබාදීම සිදුකර ඇත. මොළයට ලබාදෙන මෙම විදුලි සංඥාවක් මගින් කුඩා තිතක් වැනි ආලෝක සංවේදනයක් (Phosphenes) මොළයේ ඇතිකරනු ලබන අතර මේවා භාවිතයෙන් හැඩතල හා වස්තූන් පිළිබඳ හැඟීමක් මොළයට ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙහි එක් ඉලෙක්ට්‍රෝඩයක් මගින් එක් තිතක් සංවේදනය කරන අතර ඉලෙක්ට්‍රෝඩ කිහිපයක් මගින් විවිධ රටාවන්, අක්ෂර සංවේදනය කර ඇත.

සුප්‍රසිද්ධ “Science” සඟරාවට අදහස් දක්වමින් පර්යේෂකයන් විසින් පවසා ඇත්තේ මෙහිදී මෙම කෘතීම දෘෂ්ටිය ඇසුරින්, පර්යේෂණයට භාජනය වූ වඳුරන් විසින් ඉරි, අක්ෂර සහ චලනය වන තිත් හඳුනාගැනීමට සමත් වූ බවයි. ජීවිතයේ යම් අවධියක පෙනීම තිබී, පසුකාලීනව අන්ධභාවයට පත් අයට පෙනීම ලබාදීම සඳහා මෙම තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහි ප්‍රධාන පර්යේෂණ නිලධාරී, පීටර් රෝල්ෆ්සීමා විසින් පවසා ඇත්තේ මෙහිදී අක්‍රිය වූ ඇස් මගහැර, සෘජුවම අදාල සංවේදනය මොළයට ලබාදීම මගින් රූප පිළිබඳව සංජානනය ඇතිකරනු ලබන බවත් එනම්, මෙම තාක්ෂණය තවදුරටත් වර්ධනය කොට – කැමරාවක් මඟින් ලබාගන්නා රූප ඇස් නොපෙනෙන අයට කෙලින්ම මොළයට ලබාදිය හැකි බවත්ය. එනම් අනාගතයේදී, අන්ධ පුද්ගලයකුට තමන් පැළඳි කණ්ණාඩියක සවිකරන ලද කුඩා කැමරාවක් මඟින් ලබාගන්නා රූප, කෙලින්ම මොළයට ලබාගැනීම මගින් පෙනීම ඇති අයකු ලෙස ජීවත්වීමට අවස්ථාව ලබා දිය හැකි බවයි. මෙම පර්යේෂණ සාර්ථක වුවහොත්, ලොව පුරා වෙසෙන සුවහසක් අන්ධ ජනයාට නැවත වරක් ලෝකය දකින්නට මහඟු අවස්ථාවක් ලැබෙනු ඇත.

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version