මුල් පිටුව දේශීය පුවත් “නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන 300ක් ඇති කිරීමට පියවර ගන්නවා” –...

“නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන 300ක් ඇති කිරීමට පියවර ගන්නවා” – ඇමති බන්දුල

0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන 300ක් ඇති කිරීමට පියවර ගන්නවා…-වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින න්‍රවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් කෝපි අපනයන නිෂ්පාදන ගම්මාන 19ක් සඳහා අවශ්‍ය පැළ බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් කිසිදු ආර්ථික අභියෝගයක් නොමැතිව ලබා ගත් විදේශ ණය හා වසර පහක් මුළුල්ලේ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම විනාස කරමින් පවත්වා ගන්නා ලද, සියළු දේ විදේශයන්ගෙන් ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් රට සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ කාල සීමාවකින් පසු පත් වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය විසින් මෙරට කර්මාන්ත යළි නඟා සිටුවීමටත්, එතුළින් විදේශ විනිමය උපයා ගැනීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ගෝලීය ආර්ථික අර්බුදයක් පැවතිය දි වුවද, අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි මෙරට පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජන ජීවිතය වඩා සෞභාග්‍යමත් කිරීමට සැවොම එක්ව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, නුවරඑළිය දිස්ත්‍රික්කයේ භූගෝලීය පිහිටීම හා කාලගුණික තත්වය මැනවින් භාවිතා කරමින් මෙම නව කෝපි වගාව ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන ලදී.

“පසුගිය යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශී මූල්‍ය කළමණාකරණය හා වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය යළි ගොඩගැනීමට නම්, මෙරටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමත්, රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීමත් කළ යුතුයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් රජයේ කැපවීම හා ශක්‍යතාවය මේ සඳහා භාවිතා කිරීම අත්‍යවශ්‍ය වනවා. එබැවින් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අපනයන ප්‍රවර්ධනයට පළමුව සිදු කළ යුතු අපනයන භාණ්ඩ විවිධාංගීකරණය, ඊට අදාළව මෙතෙක් කාලයක් අපනයනය නොකරන ලද භාණ්ඩ අපනයනය සඳහා කටයුතු සැලසීම, දෙවනුව වෙළෙඳපොල විවිධාංගීකරණය මැනවින් හඳුනාගෙන වැඩි ආකර්ෂණයක් ලබා ගත හැකි රටවල් සඳහා ඒ ඒ භාණ්ඩ අපනයනය කිරීම හා තෙවනුව නවීකරණය තුළින් නව ප්‍රභේද හඳුනාගෙන වගා ක්‍රම ශිල්ප භාවිතා කොට නව වගාවන් පවත්වා ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ නිසා අද දින ආරම්භ කෙරෙන මේ ජාතික ව්‍යාපෘතිය මඟින් වගා කෙරෙන පැරකුම් කෝපි ප්‍රභේදය හඳුනා ගත් සුළු කෘෂි අපයන දෙපාර්තමේන්තුවේ පර්යේෂණාත්මක කාර්යභාරය සිදු කළ ආචාර්ය සෙනවිරත්න මහතා ඇතුළු පිරිසට ස්තුතිය පුද කළ යුතුයි. එමෙන්ම මේ වගා කටයුතු සිදු කිරීම සඳහා ඉතාම උනන්දුවෙන් කටයුතු කළ හිටපු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමාටත් මාගේ ස්තුතිය පුද කළ යුතුයි. ඒ වගේම මෙම කෝපි ප්‍රභේදය ජපාන වෙළෙඳපොලට හඳුන්වා දීමට කටයුතු කළ අපනයන සංවර්ධන මණ්ඩලය හා කියෝතෝ අපනයන සමාගමටත් විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි. එමෙන්ම මෙම පැරකුම් ප්‍රභේදයේ කෝපි පැළ බෙදාහැර වගාව ආරම්භ කිරීමෙන් පසුව නිශ්චය කර ඇති ඒ ඒ කාල සීමාවන් හා එහි ඵලදායකත්වය තුළ සමස්ත කෝපි නිෂ්පාදන කිලෝවක් රු.දහසක මිළ යටතේ මිළට ගැනීමට ඉදිරි විනිමය ගිවිසුමකටද එළඹ නිබෙනවා. මේ වගාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හා අනෙකුත් අවශ්‍ය මඟපෙන්වීම සඳහා නෛතික පැවැත්මක් ලබා දීමට සීමා සහිත සමිති ක්‍රමවේදයක් පවත්වා ගැනීමටත්, එතුළින් වගාකරුවන් සඳහා කිසිදු ගැටළුවක් ඇති නොවීමටත් කටයුතු කිරීමට ඒ ඒ පාර්ශ්වයන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

අද දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපනයන ගම්මාන 19ක් ආරම්භ කරනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කෝපි වර්ගය නිෂ්පාදනය කළ හැකි වර්ග අඩි 2000ට වඩා උසැති ග්‍රාමසේවා වසම් 300කට අධික බව ආචාර්ය සෙනවිරත්න මහතා ඇතුළු පිරිස විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලබන වසරේ දී මෙම කෝපි නිෂ්පාදන ගම්මාන 300ක් ඇති කිරීමේ ශක්‍යතා වාර්තාවක්, එම වගාවන් ඇති කිරීමෙන් පසුව ලබා ගත හැකි ඵලදාව හා එතුළින් උපයා ගත හැකි විදේශ විනිමය ප්‍රමාණය ඇතුළත් සම්පූර්ණ ව්‍යාපෘති වාර්තාවක් ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. ඒ අනුව බැලූ විට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමේ හැකියාව පවතින, වැඩි සේවා නියුක්ත අවස්ථාවන් හා ජන ජීවිතය උසස් කරවන ඉතාම ප්‍රබල දිස්ත්‍රික්කයක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය පත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ නිසා අපි සියළු දෙනාම එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය අපනයන අංශයේ අග්‍රගණය ස්ථානයකට පත් කිරීමට කටයුතු කළ යුතු බව මෙම අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ සුළු කෘෂි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“ගරු වෙළෙඳ අමාත්‍යතුමත් අපේ අමාත්‍යාංශයත් එක් වී සිදු කෙරෙන මේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකනවා. මේ අළුත් ප්‍රභේදයක් සොයාගැනීමත් සමඟ අපේ රටේ වෙළෙඳ අමාත්‍යතුමා විදියට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටු කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා. එතුමා මට නිතරම කිව්වෙ මේ රටේ මිනිස්සුන්ට වැඩි ආදායමක් ලබා ගත හැකි අවස්ථා අපි සැලසිය යුතුයි කියලයි. අතිගරු ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් මා වෙත ලබා දුන් උපදෙස් පරිදි මී මුරේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරමින් පසුගිය දිනවල අපි ගම්මිරිස් කිලෝවක් සඳහා රු.800/=ක සාධාරණ මිළක් ලබා දුන්නා. මෙවැනි ක්‍රමවේද දියත් කරමින් යන අතරතුර අපි වෙළෙඳ අමාත්‍යතුමාට කිව්වා අපි ගොවියාගේ නිෂ්පාදන මිළට ගන්නවා ඒවා අළෙවි කිරීමට අවස්ථාවක් හදලා දෙන්න කියලා. එතුමා කිසිදු පැකිලීමකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා මේ නිෂ්පාදන අළෙවි කිරිමට කටයුතු සලසා දුන්නා. වෙළෙඳ අමාත්‍යතුමා මේ ගොවියාට සාධාරණයත් පාරිභෝගිකයාට සාධාරණයත් ඉටු කිරීමේ කර්තව්‍යය ඒ අයුරින් අති විශිෂ්ඨ අන්දමින් සිදු කරමින් පවතිනවා. ලබන මස 5 වැනි දා ඉහළ ගුණත්වයෙන් යුත් කුළුබඩු වර්ග දහයක් ඇතුළත් පාර්සලයක් අවම මිළකට පාරිභෝගිකයාට ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරෙනවා. එහිදී අපි ගොවියාට ඉහළ මිළක් ලබා දෙන බව ද කිව යුතුමයි. අපේ අමාත්‍යාංශය යටතේ ඇති සුළු කෘෂි භෝග වර්ග සඳහා අවශ්‍ය පැළ අපි නොමිලේ ලබා දෙනවා. ඒ වගේම අපේ භෝග තමයි මේ අපනයන නිෂ්පාදන ගම්මාන හරහා වගා කෙරෙන්නෙ.

මේ හේතුවෙන් අපි වෙළෙඳ අමාත්‍යාංශය හා අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම අවස්ථාවකදීම කටයුතු කරමින් මෙරට අපනයන ආරථ්කය ශක්තිමත් කිරීමට අපි එක්ව කටයුතු කරනවා. එමෙන්ම ගරු වෙළෙඳ අමාත්‍යතුමා නිතරම කියන ආකාරයට අපිට ලැබී ඇති කෙටි කාලයක් තුළ අපි සැමට සේවයක් කළ යුතුයි. ඒ අනුව අද සිට ඇරඹෙන මේ අපනයන නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය සැමට සුබදායී ප්‍රතිඵල ගෙන දෙන්නක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”
මෙම අවස්ථාව සඳහා සුළු කෘෂි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, නුවරඑළිය නගරාධිපතිතුමා, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමිය සහ නිලධාරීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ නිලධාරීන්, සුළු කෘෂි අපනයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version