තවත්

    පළිබෝධ 5ක් තහනම් කළ ගැසට්ටුවක් අවලංගුයි

    0

    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමිනි.

    ඒ අනුව ග්ලයිෆොසෙට්,‍ ප්‍රොනනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක ය.

    2255-05_S

    තාක්ෂණ පොකුරු හදන තෙවන ජාතික වැඩමුළුව මධ්‍යම කලාපයේදී

    0

    ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව ජාතික ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ පුරෝගාමී වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), විදුලි සංදේශ හවුල්කරුවන්, කර්මාන්ත හවුල්කරුවන් හා එක්ව කලාපීය හවුල්කරුවන්ගේ ද සහභාගිත්වයෙන් ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යායපත්‍රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ කලාපීය තාක්ෂණික පොකුරු (Technology Clusters) නිර්මාණය කිරීම උදෙසා දින දෙකකින් සමන්විත ජාතික සමුළුවක් මධ්‍යම කලාපය මුල්කරගෙන දියත්කරනු ලැබීය.

    මධ්‍යම කලාපීය වැඩසටහන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ තෙවන වැඩමුළුව වන අතර කලාපීය තාක්ෂණ පොකුරු වැඩමුළු මාලාවේ පළමු කලාපීය වැඩසටහන උතුරු පළාත ඉලක්ක කරගනිමින් ජූනි මස දී පැවති අතර දෙවන කලාපීය වැඩසටහන පසුගිය අගෝස්තු මස දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබීය.බස්නාහිර හා නැගෙනහිර කලාප මූලික කරගනිමින් තවත් වැඩමුළු ද්විත්වයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.

    මධ්‍යම, උතුරු මැද සහ සබරගමු පළාත් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 1000කට අධික පිරිසක් මෙම වැඩමුළුව හා සම්බන්ධ විය. මෙම වැඩසටහන හරහා මධ්‍යම කලාපයේ රාජ්‍ය ආයතන, විදුලි සංදේශ හා තාක්ෂණ කර්මාන්ත නිලධාරීන්, කෘෂිකර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්, අධ්‍යාපන අංශයන් හා අනෙකුත් කර්මාන්ත හා ඒකාබද්ධව කටයුතු කරමින් නව තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම මෙන්ම විශේෂඥයන්ගේ ගේ සහය ඇතිව නවීන හා උසස් තාක්ෂණය හඳුන්වාදීම සඳහා ද මූලික අවධානය යොමුකරන ලදි.

    නොවම්බර් මස 05 වන දින පවත්වනු ලැබූ ප්‍රධාන පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමේ වැඩසටහනට සහභාගී වූ 1200 කට අධික පිරිසක් සම්මුඛව මෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සහභාගි විය. මෙම වැඩසටහන වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා සිංහල, දෙමළ හා සංඥා භාෂාවන්ට පරිවර්තනය කර විකාශය කරන ලදි. නොවම්බර් මස 06 වන දින රාජ්‍ය අංශ වැඩමුළුව මධ්‍යම, උතුරු මැද හා සබරගමු පළාත් නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන කාර්යමණ්ඩල වල සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබූ අතර 1000 කට අධික පිරිසක් සක්‍රීයව සහභාගි විය.

    මෙම වැඩමුළුවේ අදහස් ප්‍රකාශකරමින් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා සඳහන් කළේ “කොළඹ නගරය වාණිජ අරමුණු සඳහා එකම මධ්‍යස්ථානය ලෙස සැලකීමේ සාම්ප්‍රදායික මතය නිෂ්ප්‍රභා කරමින් තාක්ෂණය භාවිතයෙන් සෑම ගමක්ම වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගතහැකි බවයි”.
    තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) සභාපති සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා ධනාත්මකව අදහස් දක්වමින් ප්‍රකාශකළේ “තාක්ෂණික භාණ්ඩ හා සේවා අපනයනයෙන් මෙම වසර තුළදී ඩොලර් බිලියන 1.5 ක අපනයන ආදායමක් උපයාගත හැකි වූ බැවින් 2024 වන විට ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් උපයා ගැනීමේ රජයේ ඉලක්කය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් සාක්ෂාත් කරගත හැකි බවයි”. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, “අරමුණු සාක්ෂාත් කරගැනීම වේගවත් කිරීම උදෙසා උදෙසා ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකින්ම ඇතිකිරීම” අරමුණ බවයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත් මහතා ප්‍රකාශ කරනු ලැබූවේ “ශ්‍රි ලංකා රජයේ දැක්ම වනුයේ, රට තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉදිරියට ගෙනයන ලබන්නාවූ මෙන්ම උසස් තාක්ෂණය සමගින් ස්වයං මෙහෙයුම් ක්‍රියාවලිය හසුරුවනු ලබන්නා වූ නියෝජිතායතනය බවට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA ) පත්කිරීමයි. ICTA විසින් ක්‍රියාත්මක කරනු ලැබූ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් මෙම අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත”.

    තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන නිලධාරී අනුර ද අල්විස් මහතා විසින් ICTA නියෝජිතායතනය තුළ ඩිජිටල් ආර්ථික භූමිකාව පිළිබඳ අදහස් ප්‍රකාශකරන ලදි. ICTA හි අනාගත දැක්මට අනුව 2024 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන විශාලතම අපනයන කර්මාන්තය බවට පත්වීමට වඩා වැඩි ඉඩ කඩක් පවතින බව ඒ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. ඔහු විසින් ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන නගාසිටුවීමේ වැදගත්කම හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේය.

    මේ හා සමගාමීව මධ්‍යම ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය (Start-up Hub) නිල වශයෙන් ආරම්භ කිරීම එහි නිර්මාතෘ නලින් බෝමවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඔහු ප්‍රකාශ කළේ මේ තුළින් ප්‍රදේශයේ තාක්ෂණ ව්‍යාපාර ආරම්භකරන්නන්, ආයතන, ස්වයං රැකියාවන්හි නිරතවන්නන්, ශිෂ්‍යයන් සහ නව නිපැයුම්කරුවන් සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවයි. ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියාසිටියේ තාක්ෂණික ව්‍යාපාර ආරම්භකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීම, මධ්‍යම කලාපයේ තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ ස්වයං රැකියාවන්හි නිරතවන්නන්ගේ ප්‍රමාණය ඉහළ දැමීම ප්‍රධාන අරමුණු වන අතර එමගින් තොරතුරු තාක්ෂණ අපනයන ආදායම වැඩිකිරීම තවත් අරමුණක් බවයි.

    ආරම්භක තාක්ෂණ ව්‍යාපාර පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ (Director – startup Ecosystem Development) සචින්ද්‍ර සමරරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන 585 ක් ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන දත්ත පද්ධතිය තුළ ලියාපදිංචි වී ඇති අතර නුදුරේදීම එය 600 දක්වා ළඟාවන බවත්ය. ඔහු තවදුරටත් අදහස් එකතුකරමින් කියාසිටියේ, මෙවැනි ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්තව ඇති බවයි.

    නිදසුනක් ලෙස පෙර වැඩමුළුකදී ආරම්භ කරන ලද සබරගමුව ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය ඇරඹී මාස 3 කදී සාමාජිකයන් සංඛ්‍යාව 90ක් දක්වා වර්ධනය කිරීමට හැකි වූ අතර ඔවුන් ICTA නියෝජිතායතනයේ සහය ලබමින් සීඝ්‍ර වර්ධනයක් ලඟාකරගනිමින් සිටී. එමෙන්ම පෙර හඳුන්වාදෙන ලද ඌව ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථානය (Uwa start-up Hub) හා යාල් තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථානය ද (Yarl IT Hub) ඇතුලත් ව ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන වැඩසටහන තවදුරටත් පුළුල්වෙමින් පවතී.

    අවසාන වශයෙන් මෙම ජාතික වැඩසහන හා සම්බන්ධ වූ සියලුම හවුල්කරුවන් වෙත විශේෂ ස්තූතිය පිරිනමන ලදි; එහිදී තාක්ෂණ අමාත්‍යාංශය, නුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව, ඩයලොග් අක්සිආටා ලිමිටඩ්, ශ්‍රී ලංකා ටෙලිකොම් ඇන්ඩ් මොබිටෙල්, භාරතී එයාර්ටෙල් ලංකා, හචිසන් ටෙලිකොම් ශ්‍රී ලංකා, ලංකා බෙල් ලිමිටඩ්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සම්මේලනය (FITIS), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), CSSL, SLINTEC, SLIBTEC, වෙත ස්තූතිය පළ කරන ලදි. එමෙන්ම සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට සහ මධ්‍යම කලාපය නියෝජනය කරමින් සම්බන්ධ වූ සියලු දෙනා වෙත ද විශේෂ ස්තූතිය පිරිනැමිනි. එසේම මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ICTA ආයතනයේ බලධාරීන් අගය කිරීම ද මෙහිදී සිදු විය.

    ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ කිරීමේ දැක්ම පෙරදැරිව තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තුළ පෙරමුණහොබවයි. ICTA ආයතනය කැපවී සිටිනුයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඵලදායි බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඵලදායි ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබාදීමටයි. වැඩිදුර විස්තර සඳහා www.icta.lk වෙත පිවිසෙන්න.

    “රජයේ ප්‍රතිපත්තියට එකඟ නැති නිලධාරීන්ට ඉවත් වෙන්න පුළුවන්”

    0
    gotabaya rajapaksa

    හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවත් එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය.

    හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිවරයා කියාසිටී.

    “ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු ය. ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය.

    පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩු වීමට බලපා ඇත. එමෙන් ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරීහු පැවසූහ.

    අයවැය 2වැනි වර සම්මතයි – අභියෝග මැද වෙන්න යන දේ මුදල් ඇමති කියයි

    0

    අභියෝගාත්මක පරිසරය මැද වුවත් මෙරට ආර්ථිකය යහපත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අයවැයට සහය දුන් සැමට තුති පුදමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    හෙතෙම මේ බව සඳහන් කළේ 2/3 බහුතරයකින් අද පාර්ලිමේන්තුවේදී ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් සම්මත වීමෙන් අනතුරුවයි.

    “මෙම අභියෝගාත්මක පරිසරය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය වේගවත් හා සෞඛ්‍ය සම්පන්න ප්‍රකෘතියක් දකිනු ඇතැයි මට විශ්වාසයි. මෙම ප්‍රයත්නයේදී සියලුම පාර්ශවකරුවන් අප සමඟ ශක්තිමත්ව සිටිනු ඇතැයි මම විශ්වාස කරමි.
    2022 අයවැය ඉදිරිපත් කිරීමේදී මට සහය දුන් සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙමි.” යැයි ද මුදල් අමාත්‍යවරයා කීය.

    අද පස්වරුවේ පැවති අයවැය දෙවන වර ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.

    ඡන්ද 153 අයවැයට පක්ෂව ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

    අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා කොවිඩ් තත්වය නිසා අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

    අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වෙයි.

    සියලු පහසුකම්‌ දීලත් පොළොන්නරුව වකුගඩු රෝහල තාම හරියට වැඩ නෑ

    0

    පොළොන්නරුවේ ඉදි කර තිබෙන ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල විවෘත කර මාස හයක් ගතවී ඇතත් එම රෝහලට අධ්‍යක්ෂවරයකු හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පත්කිරීමට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

    පොලොන්නරුව වකුගඩු රෝහලට මේ දක්වා අධ්‍යක්ෂවරයකු වූ පත්කර නැති අතර ප්‍රමාණවත් තරම් විශේෂඥ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල හා අනෙකුත් කාර්ය මණ්ඩලය පත් කර නැතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    පොලොන්නරුව වකුගඩු රෝහල ඇඳන් 201 කින් සමන්විත වුවද මේ වන විට භාවිතා කරන්නේ ඉන් සියයට 25ක ඇඳන් ප්‍රමාණයක් පමණක් බව ද එම රෝහලට විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනකු අවශ්‍ය වුවද සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පමණක් බව ද ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

    එම රෝහල සතුව රුධිර කාන්දුකරණ යන්ත්‍ර සීයක් තිබුණද පින් මේ දක්වා ක්‍රියාත්මක වන්නේ තිහක් පමණක් බවද ඊට හේතුව අවශ්‍ය සේවකයින් නොමැතිකම බවද ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන අපොහොසත් කම හේතුවෙන් පොළොන්නරුව ජාතික වෘක්කවේද වකුගඩු රෝහල මගින් ජනතාවට නිසි පරිදි සේවයක් සලසා ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    රුපියල් බිලියන 12 ක් වැය කරමින් අක්කර 16කින් සමන්විත ඉදිකළ පොලොන්නරුව වකුගඩු රෝහල ඉකුත් ජුනි මස 11 වැනිදා ජනපතිවරයා විසින් විවෘත කළේය.

    රාජ්‍ය ව්‍යාපාර 32ක් බරපතළ ලෙස පාඩුයි

    0

    රාජ්‍ය ව්‍යාපාර 432 කට අධික සංඛ්‍යාවකින් ආයතන 32 ක් පමණ බරපතල පාඩු ලබන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

    සාමාන්‍ය පොදු මහජනතාවට මෙම පාඩුවට වන්දි ගෙවීමට සිදුව ඇතැයිද ඔහු සදහන් කළේය.

    ලාභ ලබන රාජ්‍ය ආයතන ආරක්ෂා කරගනිමින් පාඩු ලබන රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංස්කරණයකට යොමුකළ යුතුව ඇතැයිද මහාචාර්ය වරයා පැවසීය.

    පාඩුලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අයිතිය ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බවද ඔහු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි කී මන්ත්‍රීවරයා ඔවුන් විසින් ඉදිරියේදි නීතිමය පියවරයන් ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පවසා සිටියේය.

    රන්ජන් ළඟ ෆෝන් එකක්

    0

    වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

    දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිමට කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

    ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කර ඇත.

    ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

    0

    බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල ද ඉහළ දමා තිබේ.

    ශ්‍රී ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් අද (22) මේ බව නිවේදනය කරන ලදී.

    ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

    සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

    “IMF එකට ගිහින් ප්‍රශ්න විසඳ ගත්ත තැනක් පේන්න නෑ” – පොහොට්ටු මහලේකම්

    0

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකාව කිහිප කිහිපවාරයක් ගොස් ඇති නමුත් එමගින් මෙරට ආර්ථික අර්බුද විසඳා ගත් අවස්ථාවක් පිළිබඳ පෙනෙන්නට නොමැති බැවින් වත්මන් රජයට එය විකල්පයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳා ගත් රටක් ඇත්නම් ඒ පිළිබඳ ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියන පණ්ඩිතයන්’ පෙන්වා දිය යුතු බවය .

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ රට මීට පෙර වතාවන් කීපයක දී ගිහින් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක අපිට මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලින් ගොඩඑන්න හැකියාව ලැබුණ ද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රටේ සාහිත්‍ය ප්‍රශ්න විසඳාගත් වෙන රටවල් මොනවද? කියන එක මං හිතන්නේ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා කියන පණ්ඩිතයෝ මේ රටට කියන්න ඕන. මෙන්න මේ අහවල් රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳ ගත්තා. එහෙම නැත්නම් අපේ රටේ මීට කලින් මේ අවස්ථාවලදී ගිහිල්ලා මේ රටේ තියෙන ප්‍රශ්නෙ විසඳුනා කියලා අපට පේනවා නම් කමක් නෑ. එහෙම තත්ත්වයක් පේන්න නෑ ඒක නිසා ඒක විකල්පයක් හැටියට පමණයි අපේ රජය සලකන්නේ” යයිද පොදුජන පෙරමුණේ මහලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

    රතු කකුළුවෝ මිලියන ගණනින් ලහිලහියේ යන ගමන (📹)

    0

    ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ වනගතව සිටින රතු කකුළුවන් සෑම වසරකම මිලියන ගණනින් සාගරයට සංක්‍රමණය වේ.

    මේ ක්‍රියාවලිය සිදුවන්නේ ඔවුන්ගේ සංසර්ග සමයේදී බව CNN පුවත් සේවය වාර්තා කරයි.

    කකුළුවන්ගේ මේ ගමනට සහයක් වෙමින් මාර්ග හරහා ආරක්ෂිතව යාමට උපකාර කිරීම සඳහා එරට ඉදිකරන ලද විශේෂ පාලම් තැනීමට කටයුතු කර ඇත.

    නගරාධිපතිගේ හෝටලයේ ෆේස් බුක් සාදයට පොලීසිය කඩා පනී

    0
    arrested

    වැලිගම පොලිස් වසමේ මිදිගම පිහිටි සංචාරක නිකේතනයක් තුළ අන්තර්ජාලයෙන් දැන හඳුනාගෙන සම්බන්ධ වූ පිරිසක් විසින් සංවිධානය කළ සාදයක් වැටලීමට මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද නිවේදනය කළේය.

    මෙම වැටලීම කර ඇත්තේ 20 වෙනිදා වන අතර එම නිවාඩු නිකේතනය වැලිගම නගරාධිපතියරයාට අයත් එකක් බව සඳහන්ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිිල ග්‍රෑම් 695 ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක්ද, අයිස් නැමැති මතත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 320 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, කේරල ගංජා ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 600 ක් සහ කෘෘස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 2500 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 700 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානයට භාරදී ඇති බවය.

    තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තණමල්විල ආප්ප සුදා නමැති පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි මාතර පොලිස් ප්‍රධානියෙක් පැවැසීය.

    මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල, අහංගම, මාතර, හික්කඩුව, තිස්සමහාරාම සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද එම නිලධාරියා කීය.

    වන අලියෙකු හා ගැටුණු බන්ධනාගාර වෑන් රථයේ සිටි නියාමක මිය යයි

    0
    Asian elephant head close up.

    මැගසින් බන්ධනාගාරයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැඳවූවෙක් රැගෙන ගොස් භාර දී නැවත කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක අද අළුයම වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් බන්ධනාගාර නියාමකයෙක් මියගොස් තිබේ.

    දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතන දී මෙම අනතුර සිදුව ඇත්තේ වන අලියා මාර්ගය හරහා ගමන් කිරීමේදීය. වන අලියාගේ සිරුරෙහි ගැටුණු වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැණ අසල තිබුණු තාප්පයක ගැටී ඇතැයි පොලීසිය කියයි.

    අනතුර සිදුවන විට වෑන් රථයේ රියදුරු සහ නියාමකවරු දෙදෙනෙක් ගමන් කරමින් සිට ඇත. මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ ගමන් කළ නියාමකවරයාය.

    එසේ මියගොස් ඇත්තේ කේ.එම්. ප්‍රියන්ත කුලතුංග පෙරේරා නැමැති හතලිස් හතර හැවරදි නියාමකවරයෙක් බව සීගිරිය පොලීසිය සඳහන් කළේය.

    බීමත්ව පිස්සු නැටූ මන්ත්‍රීවරයාව ගම්මුන් විසින් විදුලි කණුවේ බැද පොලීසිට භාරදෙයි

    0

    මත්පැන් පානයකර අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට හිරිහැරයක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ව කළුතර ගල්පාත බහුරුපොල ප්‍රදේශයේදී ජනතාව විදුලි කණුවක බැද පොලීසියට භාරදී තිබේ.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රියේදීය.

    ගස්බැද පොලීසියට භාරදී ඇත්තේ පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. එම මන්ත්‍රීවරයා සුළු පක්ෂයක් නියෝජනයක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟකර මන්ත්‍රීවරයෙක් වූ අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

    මෙම මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ ගල්පාතට පැමිණ මත්පැන් පානය කර පසුව මිතුරන්ගෙන් වෙන්ව බහුරුපොලට ගොස් අශෝභන ලෙස හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    මොහුගේ හැසිරීම ප්‍රදේශවාසීන්ට මහත් හිරිහැරයක් වු තැන ඔහුව විදුලි කණුවේ ගැටගසා ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ. ඒ අනුව පොලීසිය එහි පැමිණ මන්ත්‍රීවරයාව සිය භාරයට ගෙන නාගොඩ රෝහලට රැගෙනගොස් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් එහිදී ඔහු බීමත්ව සිටි බව තහවුරු වූ බවත් කළුතර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

    මන්ත්‍රීවරයාව අද අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    කෝටියකට විකුණන්න හැදූ ගජමුතු සමඟ තුනක් එස්.ටී.එෆ්. දැලේ

    0

    රුපියල් කෝටියකට විකිණීමට සූදානම් කළ ගජමතු 10 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (21) අම්පාර වරිපතන්චේනේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගැණුම් කරුවන් ලෙස වෙස්වලා ගනිමින් වරිපතන්චේන අෂ්රෆ් අනුස්මරණ ක්‍රීඩාංගනය ආසන්නයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා කොටුවී ඇත.

    විමර්ශන සඳහා සැකකරුවන් අම්පාර එරගම පොලිස් ස්ථානට වෙත භාර දී තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් විසින් වැටලීම කර ඇත.

    ජාත්‍යන්තර ගුවන් සමාගම් 22ක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවයි

    0

    ජාත්‍යන්තර ගුවන් සේවා 22 ක් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත යළි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව මෙම ගුවන් ගමන් සිදුකෙරෙන බව එම අධිකාරිය පෙන්වා දෙයි.

    කොරෝනා වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා මාස කිහිපයක් වසා දැමීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් නැවත සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකාව වෙත නැවත මෙහෙයුම් ආරම්භ කර ඇති ජාත්‍යන්තර ගුවන් සමාගම් පහත දැක්වේ.

    අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අදයි

    0

    අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (22) පස්වරු 5.00ට පැවැත්වෙයි.

    පසුගිය 12 වනදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද පැවැත්වෙයි.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන බවය.

    එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතය.

    දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිත ය.

    අද දිනයේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩු පක්ෂයෙන් ඇසීමට නියමිත ප්‍රශ්න පහත දැක්වේ.

    1637409225088039

    අද එන්නත් මධ්‍යස්ථාන 133ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 133 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    එම එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 22.11.2021

    ජනවාරි 01 දා සිට ත්‍රී රෝද රථවලට අලුතින් මීටර්

    0

    දිවයිනේ සියලු‍ම ත්‍රිරෝද රථ වලට ලබන ජනවාරි (1) වැනිදා සිට මීටර් සවි කළ යුතු වන නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

    ඒ අනුව පළමුවෙන් ජනවාරි 1 වැනිදා බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථවලට මීටර් සවිකිරීම අරඹන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මාස තුනක් ඇතුළත දිවයිනේ සියලුම ත්‍රීරෝද රථවලට සවිකිරීම අවසන් කරන බවද සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේදී මීටර් සවි නොකර ධාවනය වන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සදහා නීති සකස් කර ඇති බවද දිලු‍ම් අමුණුගම මහතා පැවසීය.

    තුරඟ කෙළිය

    0
    WINCANTON, ENGLAND - NOVEMBER 18: A general view as runners clear the water jump during The Wincanton Supporting Wincanton Town Youth FC Mares' Novices' Handicap Chase at Wincanton Racecourse on November 18, 2021 in Wincanton, England. (Photo by Alan Crowhurst/Getty Images)

    Photo by Alan Crowhurst

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-22

    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු උපත ලද්දේ 1970 නොවැම්බර් 22 වන දිනයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු උපත ලද්දේ 1970 නොවැම්බර් 22 වන දිනයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු උපත ලද්දේ 1970 නොවැම්බර් 22 වන දිනයි

    කකුල් කපන්නෙ නැතිව දියවැඩියාව සුවකරමු

    0

    නොවැම්බර් 14ට යෙදුණු ලෝක දියවැඩියා දිනයට සමඟාසීව වෛද්‍ය තුසිත කහඳුව මහතා දියවැඩියාවෙන් පරෙස්සම්වන අකාරය ඉතා කෙටියෙන් පැහැදිළි කරයි.

    NewsWave.lk ට යොමු කළ එම විශේෂ උපදේශනය ඉතා කෙටියෙන් පහත පරිදි වේ.

    ෙලංකාවේ දියවැඩියා රෝගීන් බහුලව හමුවෙයි. මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට පාදයේ තුවාල ඇතිවෙනවා. මෙම පාදයේ තුවාල අවසානයේ කකුල් කැපීම දක්වා උඩු දිවීමට පුළුවන්.

    ලෝකයේ සෑම තත්ත්පර 20කටම වරක් දියවැඩියාව නිසා රෝගියෙකුට කකුලක් අහිමිවෙනවා. මේ තුවාල වළක්වා ගැනීම තමයි වඩා වැදගත් හා පහසු ක්‍රමය වන්නේ. මෙම තුවාල සුව කර ගැනීම බොහෝ කල් දුක් විඳිනවට වඩා, නැතිනම් කකුල අහිමිකරගන්නවාට වඩා බොහෝ පහසු ක්‍රියාදාමයකි.

    කොහොමද මේ තුවාල වළක්වාගැනීම අපි කරගන්නෙ ? සරල දේවල් කිහිපයකින් අපට මේ තුවාල වළක්වා ගන්න පුළුවන්. එකක්

    1. අපි දියවැඩියාව හොඳින් පාලනය කරගත යුතුයි.
    2. දෙවැන්න අපි කකුල් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම.
    3. තෙවැන්න කකුලට ගැලපෙන ආරක්ෂිත පාවනක් නිවස තුළපවා නිරන්තරයෙන් පැළදීම මගින්

    ඔබ ලක්විය හැකි අවදානම මග හරවා ගත හැකිය.

    ජනපති පොහොර ප්‍රශ්න විසඳන හමුව අද

    0

    පොහොර ආනයනය ඇතුළු වල් නාශක, කෘමි නාශක හා දිලීර නාශක නැවත ආනයනය සම්බන්ධ තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 10.30ට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

    මෙම හමුව සඳහා විෂයට අදාළ ආමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනාවක් ලැබී ඇත. ඒ අනුව පොහොර අර්බුධය සම්බන්ධයෙන් දිගු කාලීන ක්‍රියාදාමයට මෙම හමුවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    කාබනික පොහොර යොදා කෘෂිකර්මය නගා සිටුවීමෙන් ගොවි ජනතාවගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබා ගැනීම මෙන්ම මහජනතාව සෞඛ්‍යාරක්ෂිත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම වී තිබිණි. කෙසේ වෙතත් ගොවිජනතාවගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ අතර දේශපාලන උසිගැන්වීම් සමඟ රසායනික පොහොර අවශ්‍යතාව දැඩි කරමින් විරෝධතා පවත්වන්නට යෙදිණි.

    මේ පිළිබඳව අවධානය යොමු කරමින් රජය කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

    පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බව හෙතම ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

    නව සංචරණ සීමා සමඟ යුරෝපය රත්වෙයි

    0

    නව සංචරණ සීමාවන්ට එරෙහිව යුරෝපා කලාපය පුරා ඉතා දරුණු මට්ටමේ විරෝධතා ආරම්භ වී ඇති බවත් නගර කිහිපයක දේපල ගිනි තැබීම්ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    යුරෝපා කලාපයේ මේවන විට කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර දෛනික මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යෑමක් වර්තාවේ.

    ඒ අනුව යුරොපා කළාපයේ රටවල් කිහිපයක්ම විවිධ සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඔස්ටි්‍රයාව හෙට සිට පූර්ණ සංචර්ණ සීමා පැනවීමටත් නෙදර්ලන්තය එන්නත් කරණයට ලක්නොවූවන්ට සංචරණ සීමා පැනවීමටත් තීරණය කර ඇත.

    මෙම තත්ත්වය හමුවේ නෙදර්ලන්තයේ හේග් නගරයේ ඊයේ රාත්‍රීයේ දෙවන දිනට විරෝධතා පැවති අතර එහිදී විරෝධතා කරුවන් යතුරු පැදිවලට ගිණි තබා රජයේ නව තීරණයට සිය අප්‍රසාදය පළකර තිබේ.

    මේ අතර නෙදර්ලන්තයේ රොටඩෑම් නගරයේ ඇති වූ විරෝධතා වලට පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවටද වාර්තවේ.

    පොලිසියේ මෙම වැඩි තැබීමත් සමඟ නෙදර්ලන්තයේ විරෝධතා තවත් දරුණු අතට පත්ව ඇති බවත් වෙඩි තැබීම සම්බන්ධයේ විශේෂ පරීක්ෂණයක් පවත්වන බවද එරට බලධාරීන් පවසයි.

    මේ අතර ක්‍රොයේෂියාවේ ඉතාලියේදී නව සංචරණ සීමාවලට විරෝධතා ආරම්භ වී ඇති අතර ප්‍රංශයට අයත් ගුවන්ඩලූප් දිවයිනේ පැවැත්වෙන විරෝධතා මැඩපැවැත්වීමටද ප්‍රංශ රජය විශේෂ පොලිස් බලඇණියක් පිටත්කර යවා ඇත.

    කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකලහොත් ලබන වසරේ පළමු කාර්තුව වන විට යුරෝපා කළාපයේ කොරෝනා ආශ්‍රීත මරණ ලක්ෂ පහක් පමණ වාර්තා විය හැකි බව ලෝක සෞඛ සංවිධානය අනතුර අගවයි.

    විදේශ අමාත්‍යාංශයේ පද්ධතියක බිඳවැටීමක් – කොන්සියුලර් සේවා සීමා වෙයි

    0

    විදේශ අමාත්‍යාංශයේ හෙට (22) සිට සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා දෛනිකව සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.

    කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වීම ඊට හේතුවයි.

    මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇතැයි එම අමාතයාංශය කියාසිටී.

    මේ සම්බන්ධයෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර සිටින අතර මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යාශය පවසයි.

    මෙම ගැටළු නිරාකරණය කිරීමෙන් අනතුරුව සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වනු ඇති බවත් පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.

    තොරතුරු ලබා ගැනීම සඳහා දූරකතන අංක 011- 2338812 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි ය.

    උඩරට මැණිකෙට යන්න ඉඩදෙන්න කඩිගමුවේ කැඩුණු තැන හැදුණු හැටි

    0

    කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ සිදුවූ නායයාම මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බැවින් කොළඹ – නුවර දුම්රිය අද සවස සිට ක්‍රියාත්මක කෙරේ.

    කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ පස් කන්දක් කඩා වැටීම හා එම ස්ථානයේ නායයාමක් සිදුවීම හේතුවෙන් රඹුක්කන සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණේ පසුගිය 9 වැනිදා සිටයි.

    මාර්ගය සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදුවූ අතර මේ වනවිට දුම්රිය මාර්ගය මුළුමනින්ම ධාවනයට හැකි පරිදි සකස් කර අවසන් ය.

     

    බූස්ටර් දෙන්න ලබන මාසේ සිට ෆයිසර් තොග සතිපතා

    0

    ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 1.5 ක තොගයක් හෙට (22) දිවයිනට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එමෙන්ම ලක්ෂ 4කින් යුත් තවත් ෆයිසර් එන්නත් තොගයක් අනිද්දා (23) දිවයිනට පැමිණෙනු ඇති බවද ඔහු කියාසිටී.

    දෙසැම්බර් මාසයේ සිට සෑම සතියකම ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 3 ක් ශ්‍රී ලංකාවට සැපයීමට එම සමාගම එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මේ වනවිට මෙරට තුළ අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 90%ක් පමණ එන්නත්කරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරටින් හමුවූ නව කොවිඩ් උප ප්‍රභේදය තරුණ හා පාසල් සිසුන් අතර සීඝ්‍ර පැතිරීමක්

    0

    රට තුළ අලුතින් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයේ නව උප ප්‍රභේදය රටේ තරුණ තරුණියන් සහ පාසල් සිසුන් අතර සුලභ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට බොහෝවිට කොවිඩ් ආසාදනය වූ පසු දැකගත හැකි රෝග ලක්ෂණ වී ඇත්තේ සුළු හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත්ව තිබේ. සාමාන්‍ය මස්පිඬු වේදනාවක්, සුළු කැස්සක් ආදිය බැවින් මෙය සුළු රෝගී තත්ත්වයක් සේ සළකා බොහෝ දෙනා නොසළකා හරින බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටී.

    එහෙත් පූර්ණ එන්නත්කරණයට ලක්වුවද කොවිඩ් වෛරසය තවත් අයකුට වැළඳිය හැකි නිසා එන්නත් නොගත් අයකුට එමගින් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයයක් හෝ කිරීම කළ යුතු බව හෙතෙම කියාසිටී.

    එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරන්තරයෙන් පිළිපැදීමේ අවශ්‍යතාවය පිළිබඳව තම දරුවන් දැනුවත් කරන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

    සිමෙන්ති හිඟය සති දෙකක් තුළ අවසන්

    0

    වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇතැයි පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

    ඔහු පැවසුවේ හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

    එමෙන්ම මේවනවිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව වෙළෙඳපලේ පවතින ගෑස් හිඟයද ක්‍රමයෙන් පහව යනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අධික වැස්ස කුඹුරු අක්කර 50,000 ක් විනාශ කරල

    0

    අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුකොටගෙන කුඹුරු අක්කර 50,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට විනාශ වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    වැඩිම කුඹුරු ප්‍රමාණයක් හානි වී ඇත්තේ යාපනයේ බවත් එම ප්‍රමාණය අක්කර 15,000 ක් පමණ වෙතැයිද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 5400 ක් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 5800 ක් ද වැස්සෙන් හානිවී ඇතැයි එම දෙපාර්තතමේන්තුව සදහන් කරයි.

    “ආණ්ඩුවෙන් යනවද නැද්ද තීන්දුව නිසි වෙලාවට ගන්නවා”

    0

    සිදුවන මදිපුංචිකම් හමුවේ ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද යන තීන්දුව පක්ෂය නිසි වෙිලාවේදී ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඇමතිකම් දැරුවද වංචාව හා දූෂණය හමුවේ නිහඬව සිටීමට තම පක්ෂය සූදානම් නැතැයිද ඔහු පැවසීය.

    දැනටමත් පළාත් පාලන ආයතන නියෝජනය කරන තම පක්ෂයේ නියෝජිතයන්ට ආණ්ඩු පක්ෂයෙන් නිසි පිළිගැනීමක් නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ වලට තනිව තරඟ කළයුතු බවට වන යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගැඹුරින් සාකච්ඡා ⁣වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
    වත්මන් ආණ්ඩුව පිහිටුවීමට තම පක්ෂය ලබාදුන් සහයෝගය ආණ්ඩුවේ ප්‍රභලයන්ට අද අමතකව යෑම කණගාටුවට කරැණක් යැයිද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    අනුරාධපුරයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.