fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අසැබි වෙබ් අඩවි තාවකාලිකව අවහිර කරන්නැයි උසාවියෙන් කියයි

    අසැබි වෙබ් අඩවි තාවකාලිකව අවහිර කරන්නැයි උසාවියෙන් කියයි

    මෙරට තුළ පාසල් ආරම්භ වන තුරු හෝ ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා තිබේ.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවය.

    කොවිඩ් තත්ත්වය හේතුවෙන් වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවේ බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී ය.

    නඩු විභාගය අතරවාරයේදී මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් පවසා ඇත්තේ ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවත් දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවත් ය.

    මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

    බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුවෙකු හා මූල්‍ය කළමනාකරුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී නියෝග කළාය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

    සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    විමර්ශන කටයුතු අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් මෙහිදී පොලීසියට නියෝග කර ඇත.

    මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.