fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හෙද ඉල්ලීම් සියල්ලටම ජනපතිගෙන් විසඳුම් - හතෙන් පහකට එසැණින්ම

    හෙද ඉල්ලීම් සියල්ලටම ජනපතිගෙන් විසඳුම් – හතෙන් පහකට එසැණින්ම

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළකර තිබේ.

    ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

    ඒ අනුව,

    1. හෙද සරසවිය ආරම්භ කිරීම.
    2. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
    3. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
    4. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
    5. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

    යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

    රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිවරයාගේ විසඳුම් ලැබී ඇත.

    රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.