fbpx
තවත්
    මුල් පිටුවCOVIDCOVID සමයේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද ?

    COVID සමයේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද ?

    නවීන තාක්ෂණයේ දියුණුවට සාපේක්ෂ මුළු ලොවම එක් ජාලයකට  සම්බන්ධ වී ඇති වර්තමානයේ ගෝලීය ගැටලු හා අර්බුදයන් පමණක් නොව වසංගත රෝගී තත්වයන්  ද   එක් තැනකට පමණක් සීමා නොවූ, ලොව පුරා  පැතිර යන පොදු කාරණාවක් බවට පත් වී ඇත. වර්තමානයේ මුළු ලොවම පාහේ එක ලෙස පීඩාවට පත්වී සිටින කොවිඩ් වසංගත තත්ත්වය ඊට හොඳ ම නිදසුනකි. 2019 වර්ෂයේ චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වී  වර්තමානය වන විට ලොව පුරා  පැතිරී ගිය ගෝලීය වසංගතයක් බවට පත්වී ඇති Covid වසංගතය ශ්‍රී ලංකාව තුළ ද  වර්තමානය වන විට  රට තුළ පවතින  ප්‍රධාන අර්බුදයක් බවට පත් වී ඇත. ආර්ථික,සමාජයීය හා සෞඛ්‍යමය යනාදී වශයෙන් සමස්ත සමාජයටම හා  පුරවැසියන්ට මේ මගින්  දැඩි බලපෑමක් ඇති කරන බව වර්තමානය වන විට කවුරුත් දන්නා පොදු කරුණක් බවට පත්වී හමාරය.

    මෙම වසංගත තත්ත්වය මගින්  පුද්ගල සෞඛ්‍යයට ඇති කරනු ලබන බලපෑම ප්‍රධාන වශයෙන්ම හඳුනා ගැනීමට පුළුවන. බැලූ බැල්මටම බැල්මට ම ශාරීරික රෝගී තත්ත්වයක් ලෙස පෙනුනද ,ශාරීරික හානි  මෙන්ම ජීවිත හානි ඇති කෙරුණ ද  covid වසංගත තත්ත්වය මගින් ඇති කරනු ලබන මානසික සෞඛ්‍යයට ඇති කරනු ලබන අහිතකර බලපෑම පිළිබඳව අවධානය යොමු කළ හොත්  එම අහිතකර තත්ත්වය  ශාරීරික  වශයෙන් ඇති කරන්නා වූ හානිය හා සම තත්ත්වයක පවතින බව හඳුනා ගැනීමට පුළුවන. Covid වසංගත  තත්ත්වය තුළින් මානසික  සෞඛ්‍ය කෙරෙහි ඇති කරනු ලබන අහිතකර බලපෑම් තත්ත්වය කෙටි කාලීන මෙන්ම  දිගුකාලීන වශයෙන්  ද පවතින බව  මේ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණයන් මගින් හඳුනා ගැනීමට පුළුවන.

    කොවිඩ් වසංගතය මගින් සිදුකෙරෙන ශාරීරික හානිය බොහෝවිට  සෘජු ලෙසම බලපානු ලබන්නේ රෝගයට බඳුන් වූ තැනැත්තාට ය. නමුත් මේ මගින් ඇති කරනු ලබන මානසික බලපෑම ඊට වඩා පුළුල් තත්ත්වයක පවතින බව හඳුනා ගැනීමට පුළුවන. රෝගයට භාජනය වූ තැනැත්තා, පවුලේ සාමාජිකයන්  මෙන්ම සමස්තයක් ලෙස මුළු මහත් සමාජයටම මෙහි බලපෑම පුළුල් පරාසයකින් යුතුව සෘජු හෝ වක්‍රාකාරව බලපාන බව හඳුනා ගැනීමට පුළුවන. ඊට හේතු වන්නේ සමස්ත රටම  කොවිඩ් වසංගතයේ බලපෑමට ගොදුරු වීමට සිදුවීමයි. ප්‍රජාවක් හෝ රටක් පමණක් නොව ගෝලීය වශයෙන්  බලපෑමක් කරනු ලබන මෙබඳු වසංගත තත්ත්වයක් තුළ දී ජනතාවගේ මානසික සෞඛ්‍යය  කෙරෙහි ගැටළු ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.

    කොවිඩ් වසංගත තත්වය  තුළදී    ඇතිවිය හැකි මානසික සෞඛ්‍ය ගැටලු  පිළිබඳව “University of Melbourne ”  හි පර්යේෂකයන් කණ්ඩායමක් විසින්  2021 වර්ෂයෙහි  මැයි මාසය තුල සිදු කරන  ලද පර්යේෂණයකට අනුව  අනාවරණය කර ගෙන ඇති පරිදි  කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෘජුව හා වක්‍රාකාරව ජනතාව තුළ ඇති විය හැකි මානසික සෞඛ්‍ය ගැටලු හා මානසික සෞඛ්‍ය  කෙරෙහි සෘණාත්මක බලපෑම් පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන .

    • ආතති තත්වයන් ඇතිවීම (Stress).
    • විනාශකාරී සිතුවිලි ඇති වීම.
    • කංසා තත්ත්වයන්(Anxiety ) , කනස්සල්ල (Worry)  හා  බිය (Fear). ඇතිවීම
    • අධි ධාවනකාරී සිතුවිලි ඇති වීම .(Racing thoughts).
    • දුක් සහගත බව (Sadness), කඳුළු මුසු ශෝකී භාවය (Tearfullness) හා එදිනෙදා  සතුට ළඟා කර දුන් කටයුතු කිසිවකින්  තවදුරටත් සතුටක් නොලැබී යාමේ තත්වය .
    • හෘද ස්පන්දන වේගය වැඩි වීම ,බඩේ අජීර්ණ තත්ත්වයන් ,ශාරීරික තෙහෙට්ටුව  වැනි ශාරීරික අපහසුතාව ලක්ෂණයන් පෙන්නුම් කිරීම .
    • කෝපය ,අන්‍යයන් නොරිස්සීම හා ශාරීරික තෙහෙට්ටුව .
    • දැඩි ආවේගකාරී බව .
    • කලබලකාරී බව.
    • මානසික ඒකාග්‍රතාවයක් නොමැතිවීම .
    • නින්ද පිළිබඳ ගැටලු හා නින්ද නොයාම .
    • අන්‍යයන්ගෙන් තමා වෙන් වී ඇති බව නිතර සිතීම .
    • පොදු ස්ථානවලට යාමට ඇතිවන සැකය හා බියමුසු හැඟීම .
    • මනසේ සැහැල්ලු භාවය  නැතිව යාම.

     වර්තමාන වසංගත  තත්ත්වය හේතු කර ගනිමින් මෙතෙක්    පැවැති සමජයීය ,පාරිසරික හා ආර්ථික   පසුබිම  එක් වරම වෙනස්වීම   නම් අභියෝගය හමුවේ   මෙබඳු  ගැටලුකාරී තත්ත්වයන්  අපේක්ෂා කිරීමට පුළුවන.  කොවිඩ් වසංගත තත්ත්වය   ඇතිවීමත් සමඟම තම දෛනික කාර්යයන්,අධ්‍යාපනය ,රැකියාව ,සමාජ ආශ්‍රය ,මිතුරු කණ්ඩායම් ,ක්‍රීඩාවන් හෝ අනෙකුත් විනෝදාංශයන්ගෙන්  ඉවත් වීමට සිදු වීම හේතුවෙන්  මෙන්ම  covid වසංගතයට  ගොදුරු  වීම හේතුවෙන් සදහටම සිය  ආදරණීයයන්  මෙලොව හැර යාම වැනි ශෝකජනක තත්වයන් හේතු කර ගනිමින්  අහිමිවීමේ මානසිකත්වය, කලකිරීම  වැනි මනෝභාවයන් ගොඩනැගී ඒ තුළින් කාංසාමය  හා ආතතිමය තත්වයන්  පුද්ගල මනසේ ගොඩනැගීමට වැඩි හැකියාවක් පවතී.

    එසේම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා තම ආදරණීයයන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් පවතින අවදානම්කාරී තත්ත්වය  පිළිබඳව නිරන්තරයෙන්  කල්පනා කිරීම තුළින් ද පුද්ගල මනසෙහි  ආතතිමය තත්ත්වයන් ගොඩනැගීම  සිදුවේ.

    කොවිඩ්  සමයෙහි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්නේ කෙසේද …?

    කොරෝනා වසංගත තත්ත්වයෙහි පැතිරීම හෝ සීඝ්‍රතාවය පාලනය කිරීමේ හැකියාවක් අප සතු නොවුනද  එම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා ශක්තිමත් මනසක් ගොඩනඟා ගැනීමේ හා හසුරුවා ගැනීමේ හැකියාව පවතින්නේ අප තුළ පමණි .ඒ සඳහා  අනුගමනය කළ හැකි සරල පියවරවල් කිහිපයක්   පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන .

    • තමන් හා තමන්ගේ ආදරණීයයන්  රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය  පියවරවල් ගැනීම .

    මෙම වසංගත තත්ත්වයෙන්  ආරක්ෂා වීම සඳහා  සෞඛ්‍ය අංශ මඟින් මගින් නිකුත් කළ ඇති මාර්ගෝපදේශයන් ඒ ආකාරයටම පිළිපදිමින් මෙම  රෝගයට නිරාවරණය නොවී සිටීම  මෙන්ම ඉන් තම  ආදරණීයන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවරවල් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි . සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්  ,පුද්ගල ස්වස්ථතාව  වැඩි දියුණු කර ගනිමින්  ,මුහුණු ආවරණ පැළඳීම වැනි නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම තුලින්  මෙමඑම වසංගත රෝගී තත්ත්වයෙන් තමනුත් තමන් ගේ පවුලේ ආදරණීයනුත්  ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත .එසේ ආරක්ෂා වීම තුළින් ශාරීරික සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීම තුළින් මානසික සෞඛ්‍යය යහපත් වනු ඇත .

    • තමාගේ සිතට ඇතිවන හැඟීම්  ඒ අයුරින්ම පිළිගැනීම හා නැවත  ප්‍රකාශ කිරීම .

    මෙතෙක් කලක් විවිධාකාර  කාර්යන්හි නිරත ව කාර්ය බහුලව සිටියද පවතින කොවිඩ් වාතාවරණයත් සමග දෛනික චර්යාවන් හා කාර්ය පටිපාටීන් වෙනස් වීමත් සමගම  ඇතිවන නව තත්වය යටතේ නොයෙකුත් සෘණාත්මක සිතුවිලි ,හැඟීම් ඇතිවීමට පුළුවන.එබඳු අවස්ථාවලදී එම හැඟීම  එයාකාරයෙන්ම පිළිගැනීම සිදු කළ යුතු අතර  එය  සමහර විට පීඩාකාරී හැඟීමක් විය හැකිය .තම සිතට ඇති වූ හැගීම  තමාගේ සමීපතමයෙකු ට ප්‍රකාශ කිරීම ,ලේඛනයක් වශයෙන් ලේඛනගත කිරීම හෝ චිත්‍ර ඇඳීම,මූර්ති නිර්මාණය වැනි  කුමන හෝ තමා ප්‍රිය කරන ප්‍රකාශන මාධ්‍යයක් මගින් ප්‍රකාශනය කිරීම සිදුකළ යුතුය .

    උදාහරණයක් ලෙස ගතහොත් ,   covid  වසංගතය   මා හට වැළඳේ ද?  යැයි  බිය ජනක හැඟීමක් ඇති වේ නම් ,ඒ පිළිබඳව තමන්ගේ සහකරුට සහකාරියට හෝ සමීපතම ආදරණීයයකුට පැවසීම තුළින් හෝ තමන්ගේ සිතට වද දෙන පීඩාකාරී හැඟීම පිළිබඳව  ලිවීම හෝ තමන් ප්‍රිය කරන මාධ්‍යයකින් හා ප්‍රකාශන කිරීම  සිදුකළ යුතුය .   ඒ තුළින් මනසෙහි ඇතිවන පීඩාකාරී තත්ත්වය  අඩු කරගැනීමට පුළුවන .

    • මනසෙහි සතිමත් භාවය වැඩි දියුණු කර ගැනීම .

    මේ සඳහා මනසෙහි සතිමත් භාවය වර්ධනය කරනු ලබන භාවනා ක්‍රම හෝ  යෝග  ව්‍යායාම  ක්‍රම හෝ  අනුගමනය කිරීම සිදුකළ යුතුය .එසේ මනසින් සතිමත් භාවය වැඩි දියුණු කර ගැනීම තුළින් මානසික ස්ථාවරභාවයක් ගොඩනඟා ගැනීමට ,මනසේ ධනාත්මක ශක්තිය වර්ධනය කරගැනීමට හැකිවන අතර කර ගැනීමට හැකි වන අතර ඒ තුළින් නිතර මනසෙහි ගැටලු ඇති කරන ඍණාත්මක හැඟීම් ,සිතුවිලි කුණාටු  මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට හොඳින් මුහුණ දීමේ ශක්තියක් ඔබේ මනස තුල ගොඩනැගෙනු ඇත .සතිමත් භාවය තුළින් ගොඩනැගෙන මානසික ස්ථාවරභාවය විසින්   ඍණාත්මක හැඟීම් හා සිතුවිලි මගින්  ඔබගේ මානසික ස්ථාවරභාවය විනාශ කිරීම වළක්වාලනු ඇත .

    • එදිනෙදා ක්‍රියාකාරකම්  පිළිවෙලකට අනුව ගොඩනගා ගැනීම .

    Covid වසංගත තත්වය හේතුවෙන් ඔබගේ එදිනෙදා ක්‍රියාකාරකම් කටයුතු තවදුරටත් ඒ අයුරින්ම සිදු කර ගැනීමේ  හැකියාවක්  තවදුරටත් නොපවතිනු ඇති අතර රැකියාව,අධ්‍යාපනය හෝ පෙරදි විනෝදය ලබා දුන් කිසිදු ක්‍රියාකාරකමක  තවදුරටත් නිරත වීමේ ඉඩකඩ  අහිමි වීමේ වැඩි අවදානමක් ගොඩනැගෙන අතර  සමාජ දුරස්ථභාවය ,නිවසේ සිට වැඩ කිරීම  යනාදී සංකල්ප හේතුවෙන්  ඒකාකාරී වූ  තත්ත්වයක් ගොඩ නැගෙනු ඇත . නමුත්  මෙම තත්ත්වයට අනුගත වී දෛනික කටයුතු සමබර අයුරින් පෙළ ගස්වා ගැනීම තුළින්  ඒකාකාරී බව   මගහැරවා ගැනීමට හැකි වනු ඇත .

    සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම,ශාරීරික අභ්‍යාස වල නිරත වීම ,(හැකි අයුරින් ව්‍යායාම කිරීම ,ඉඩකඩ ඇති පරිදි බයිසිකල් පැදීම වැනි ශාරීරික අභ්‍යාස හෝ ගෙවතු වගා කිරීම මල් වගා කිරීම වැනි  ක්‍රියා වලට සම්බන්ධ වීම ),හොඳ නින්දක් ලබා ගැනීම හා තමාට විනෝද විය හැකි නිවසේ සිට සිදු කළ හැකි විනෝදාංශයක් තෝරා ගනිමින් තෝරා ගනිමින් ඒවා එහි නිරත වීම වැනි දෛනික ක්‍රියාවක් ගොඩනඟා ගැනීම තුළින් මානසික තත්වයේ ඇතිවිය හැකියි අසමබරතාවයන්  අවම කරගැනීමට පුළුවන

    • දැනට පවතින තත්වය යටතේ සිදු කළ හැකි ක්‍රියාවන් වලට සම්බන්ධ වීම.

    දැනට පවතින නිරෝධායනය හෝ හුදකලා කිරීම් තත්ත්ව යටතේ  තමා ප්‍රිය කරන සියලු කාර්ය්‍යන් නිරතවීමට නොහැකි වුවද  නිවසේ සිට සිදු   කිරීමට හැකි කාර්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීම   සිදු කළ හැකිය.

    උදාහරණ වශයෙන් සලකතොත්

    1. මීට පෙර මිලදී ගත් කියවීමට අවස්ථාවක් හෝ කාලයක් නොතිබූ පොත් කියවීම ආරම්භ කිරීම .
    2. ගෙවත්ත පිරිසිදු කිරීම හා යම්කිසි වගාවක් ආරම්භ කිරීම.

    3 නිවස අස් කොට පිළිවෙලකට නැවත සැකසීම .

     4 විවේකයක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් අත්හදා බැලීමට නොහැකි වූ  ආහාර වට්ටෝරු  අත්හදා බැලීම.

    5  පවුලේ අනෙකුත්  සාමාජිකයන් සහභාගි කරගනිමින් විනෝද ක්‍රීඩා වල නිරත වීම (කැරම්,කාඩ් ගැසීම වැනි )

    6 නව විනෝදාංශ අත්හදා බැලීමට උත්සාහ කිරීම .

    7 මාර්ගගත ක්‍රමවේද මගින් තම අධ්‍යාපන කටයුතු යාවත්කාලීන කර ගැනීම.

    වැනි ක්‍රියාවන් තුළින්  සෘණාත්මක මානසික ආකල්පයන් බැහැර වීම සිදුවේ .

    • අනිකුත් අය හා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම .

    පවතින තත්ත්වයට අනුගත වී දවසේ වැඩි කාලයක් වෙනදාට වඩා ගත කිරීමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැන පවුලේ සාමාජිකයින් සමග වඩාත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම  සිදු කරගත හැකි අතර ඒ තුළින් තම ආදරණීයයන් හා  වඩාත් ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.එසේම එදිනෙදා කටයුතු වලට ඔබගේ සහය පවුලේ අන්‍යයන්හට ලබාදීම  තුළින් ඔබගේ දෛනික කටයුතු වඩාත් ප්‍රියජනක වනු ඇත .

    සමාජ දුරස්ථභාවය යනු      භෞතිකමය වශයෙන් වූ දුරස්ථ තාවයක් වුවද එය  පවතින තාක්ෂණික  දියුණුව හමුවේ සමාජ සබඳතා පවත්වා ගැනීමට තවදුරටත් අවහිරයක්  නොවේ . සමාජජාලා තුලින් හා zoom තාක්ෂණය වැනි පහසුකම් තුළින්  නිවසේ සිටම   මිතුරන් හෝ  වෙනත් සමාජ කණ්ඩායම්  සමග සබඳතා පවත්වා ගැනීම  ඉතා පහසු තත්ත්වයක  වර්තමානය වන විට පවතී.මෙම පහසුකම් භාවිතා කරමින් සමාජ සබඳතා ගොඩනැඟීම හා පවත්වාගෙන යෑම තුළින්  තම කටයුතු සඳහා අන් අයගේ සහය ලබාගැනීම මෙන්ම ඔවුන්ගේ කටයුතු සඳහා  අවශ්‍ය අවස්ථා වලදී  තම සහාය ද ලබා දෙමින් මනා සමාජමය සබඳතාවන් සබඳතාවක් ගොඩනඟා ගැනීමේ  ශක්‍යතාවයක්  පවතින අතර මෙය තුළින් තුලින් යහපත් මානසික  තත්ත්වයන් ඇති වීමට මනා පිටුවහලක් සැපයේ.

    වීඩියෝ ඇමතුම්  මගින් තම ඥාතීන් මිතුරන් සමග කතාබහ කිරීම හා තොරතුරු හුවමාරුකර ගැනීම,එකිනෙකාට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කටයුතු සඳහා සහාය ලබා දීම,මිත්‍ර කණ්ඩායම් එකතු වී whattsapp  ,zoom  වැනි ජාලාවන් භාවිතා කරමින් කුඩා කණ්ඩායම් සකසා ගනිමින් තොරතුරු යාවත්කාලීන කර ගැනීම හා එකිනෙකා ඇසුරු කිරීම  වැනි කටයුතු තුළින්  ඒකාකාරී බව අවම කර ගැනීම  සිදුකර ගැනීමට පුළුවන .

    • යථා දර්ශනයකින් යුතුව ජීවිතය දෙස බැලීමට හුරු වීම .

    සෑම දෙයක් ම අනිත්‍ය වූ  ලොව තුළ ජීවිතය යනු ඕනෑම මොහොතක අහිමිවි යා හැකි  දෙයක් බව යන යථා දර්ශනය  පුරුදු පුහුණු කිරීම තුළින් මනසෙහි ඇතිවන අවිනිශ්චිතකාරී හා කැළඹිලි ස්වභාවය ට මනා ලෙස මුහුණ දීමට හැකි වනු ඇත.විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මෙම සමය තුල

     ඕනෑම මොහොතක මම මේ රෝගයට ගොදුරු විය හැකිය” හා   එසේ වුවහොත් මා හට කුමක් වේ ද යනාදී වශයෙන් වූ  විවිධාකාර ගැටළු සහගත තත්වයන් හා හැඟීම් මනසේ ඇති වීමට ඉඩ ඇත .

    එබඳු අවස්ථාවන් හිදී  තමා මීට පෙර මුහුණ පෑ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ස්මරණය කරමින් තමා එම ගැටලුකාරී තත්ත්වයන්  දැන් මිදීමට ක්‍රියා කළ ආකාරය පිලිබඳවත් මේ සඳහා යොදා ගනු ලබයි ආවෝ ලබන්නා වූ උපාය මාර්ග කවරේද යන්නත් පිලිබඳවත්  අවධානය යොමු කරමින්  “වර්තමාන තත්ත්වය  යහපත් කර ගැනීම සඳහා මා හට ගත හැකි පියවරයන් කවරේද යන්න” පිළිබඳව    අවධානය යොමු කරමින්  වඩාත් සාර්ථකව  මෙම කල් සිමාවට මුහුණ දීමේ හැකියාව  ගොඩනගා ගැනීම තුළින්  මනසේ ඇතිවන පීඩාකාරී තත්ත්වයන් සාර්ථක අයුරින් පාලනය කර ගැනීමට හැකි වනු ඇත

    •  වසංගත තත්ත්වය පිළිබඳව වඩාත් විශ්වාසනීය හා නිවැරදි තොරතුරු පමණක්  ලබා ගැනීම .

    බොහෝ විට වසංගත තත්වයක් පවතින මෙම සමය තුල දැකගත හැකි සුලභ ලක්ෂණයක් වනුයේ කටකතා හෝ නිවැරදි නොවන සාවද්‍ය වූ තොරතුරුය .මෙම තොරතුරු බොහෝවිට  විශ්වාසනිය නොවූ ආකාර මගින් පැමිණෙන අතර එසේ නිවැරදි නොවන තොරතුරු ලබා ගැනීම තුළින්  පවතින තත්ත්වය පිළිබඳව  දුර් මතයන්  ගොඩනැගෙන අතර ඒ ඔස්සේ බිය ,ආතතිය ,සංත්‍රාසයට පත් වීම වැනි නොයෙකුත් ගැටලුකාරී තත්වයන් ඇතිවීමට  මෙන්ම මනස සෘණාත්මක භාවයට පත් වීමද සිදු වේ .එබැවින් සාවද්‍ය තොරතුරු කෝ කට කතා  විශ්වාස නොකර වඩාත් විශ්වාසනීය වූ ප්‍රවෘත්ති  හා තොරතුරු පමණක් ලබා ගත යුතුය.

    එසේම දිගින් දිගටම පවතින වසංගත තත්ත්වය හා එහි ඍණාත්මක බලපෑම් සම්බන්ධව කල්පනා කිරීම හෝ අනෙකුත් පුද්ගලයන් සමග සාකච්ඡා කිරීම වෙනුවට වෙනත් තමා කැමති හා ඵලදායී මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කිරීම  සිදුකළ යුතුය .

    ඇතිවෙන සියලු දේ නැති වීම ලෝක ස්වභාවයයි .එම ස්වභාවයට අනුව මෙම වසංගත තත්ත්වය ද  හැකි ඉක්මනින්  තුරන් වී යනු ඇත .එතෙක් මේ පවතින තත්වය යටතේ මානසික සෞඛ්‍යය සෘණාත්මක වීමට ඉඩ නොදී ධනාත්මක ලෙස කළමනාකරණය කර ගැනීම  අත්‍යවශය  සාධකයක් වන්නේ ශාරීරික සෞඛ්‍ය  මෙන්ම   යහපත්  මානසික සෞඛ්‍යය ද මිනිසා ගේ යහ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක් වන බැවිනි .

    (unimelb.edu.au ඇසුරෙනි)

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    ඔබේ අදහස් දක්වන්න.