fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වව්නියාවේ වෙල්යායක වැටී සිටි ඇතාව ඔසවයි

    වව්නියාවේ වෙල්යායක වැටී සිටි ඇතාව ඔසවයි

    වව්නියාවේ කනගරායකුලම් , පූදූර් හී කැලෑබද ප්‍රදේශයක වෙල් යායක රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රකිකාරයක් නොමැතිව මරණාසන්නව වැටී සිටියදී සමාජ මාධ්‍ය ජාලාවක වීඩියෝවකින් බලධාරීන්ගේ අවධානයට යොමු වූ ඇතා මාසයකට පසු බැකෝ යන්ත්‍රයක අධාරයකින් එසවීමට වනජීවී නිලධාරීන් ඊයේ (09) සමත්ව ඇත.

    වයස අවුරුදු 10 ක් පමණ වන එම ඇතා වෙල්යායේ වැටී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටියදී අසල හමුදා කදවුරක සෙබලුන් විසින් ජලය සහ ආහාර ලබාදෙමින් ඒ ගැන වනජීවී නිලධාරීන්ව දැනුවත්කර තිබුණි. දින 12 ක් තිස්සේ වනජීවී නිලධාරීන් එහි නොපැමිණීම හේතුවෙන් යම් පුද්ගලයෙක් ඒ සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ජාලය වෙත ඒ ගැන වීඩියෝවක් මුදා හැර තිබුණි. එම වීඩියෝව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ නෙත ගැටීමත් සමග ඒ ගැන යම් සොයා බැලීමක් කර වනජීවී නිලධාරීන්ගේ අවධානය ඊට යොමුකර තිබුණි. ඒ අනුව ඉකුත් මැයි 23 වෙනිදා වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වව්නියාවට ගොස් ඇතාට ප්‍රතිකාර කිරීම් ආරඹනු ලැබීය. අනතුරුව විටෙන් විට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පශු වෛද්‍යවරු රැසක්ම පැමිණ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර කර ඇත. එහෙත් ඇතාට තනිවම මෙතෙක් නැගිටීමට හැකියාවක් ලැබී නැත.

    රාජ්‍ය අමාතත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ එම ස්ථානයට පැමිණ ඇත. ඇතාගේ ඇගට රෙදි සහ ලණු බැද බැකෝ සහ බර ඔසවන යන්ත්‍ර ආධාරයකින් ඔසවා ඇත්තේ එම අවස්ථාවේදීය. ඒ අසල ඇතාව පාදවලින් නැගිටුවා තැබීමට හැකිවන ආකාරයේ අට්ටාලයක්ද සකස්කර තිබී ඇත. එහෙත් බර ඔසවන යන්ත්‍රයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් වැඩි වේලාවක් ඇතාව නැගිටවා තබා ගැනීමට හැකියාවක් ලැබී නැත. අද නැවත ඇතාව නැගිටුවීමේ මෙහෙයුම ආරම්භකර තිබුණි.

    ඇතාගේ සිරුරේ තුවාල සලකුණු කිහිපයක් ඇතැයි පශු වෛද්‍යවරුන්ට පෙනී ගොස් ඇත්තේ ඇතාව ඊයේ එසවීමෙන් අනතුරුවය. එම තුවාල සලකුණු දුම්රියේ ගැටීමකින් හෝ ඇතුන් අතර ගැටුමකින් හටගෙන ඇති බවත් ඇතා මේ ආකාරයට වැටී ඇත්තේ ඒ නිසා බවටත් සැකයක් පශු වෛද්‍යවරුන්ට ඇතිවී තිබේ. කෙසේ වෙතත් ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුත්තට ආයුර්වේද වෛද්‍යවරයෙක්ද ඉදිරිපත්වී ඇත. පාරමිපරික වෛද්‍ය ක්‍රමයක් ඔස්සේ ඔහු ප්‍රතිකාර කිරීමට මේ වන විට සූදානමින් සිටින බවද සදහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.