මෝටර් රථ වාහන සඳහා පමණක් සීමා වූ CMA CGM සිල්වර්ස්ටෝන් නෞකාව ප්‍රථම වරට හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණ තිබේ.
CMA CGM සමාගම විසින් මෙහෙයවනු ලබන, මෝටර් රථ වාහන සඳහා පමණක් සීමා වූ (Pure Car Carrier) CMA CGM සිල්වර්ස්ටෝන් නෞකාව, පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිය මංගල සංචාරය සිදුකර තිබෙන අතර මෙම සන්ධිස්ථානය, වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඇති පිළිගැනීම වඩාත් සවිගන්වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසයි.
2024 දී ඉදිකර ඇති සිල්වර්ස්ටෝන් නෞකාව, ස්වාභාවික ද්‍රව වායුවෙන් (LNG) බල ගැන්වෙන අතර එහි දිග මීටර් 200ක් වේ. මෝටර් රථ 7,000ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති නෞකාව, සිංගප්පූරුවේ සිට HIP වෙත පැමිණියේ වාහන ඒකක 333ක් සමඟිනි. CMA CGM දැනටමත් ලෝකයේ තුන්වන විශාලතම බහාලුම් නැව්ගත කිරීමේ ක්‍රියාකරු ලෙස හොඳින් ස්ථාපිත වී ඇති අතර, මෙය එම සමාගමේරෝල්-ඔන්/රෝල්-ඕෆ් (RoRo) අංශය ව්‍යාප්ත වීම සනිටුහන් කරයි.
සිය පළමු මෝටර් රථ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට ගෙන ඒම වැදගත් අවස්ථාවක් බව, CMA CGM ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ කිංස්ලි අබේවික්‍රම මහතා පවසයි. "සිල්වර්ස්ටෝන් HIP වෙත පැමිණීම, අත්හදා බැලීමක් වුවද, මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස HIP හි මෙහෙයුම් හැකියාව තක්සේරු කිරීමට මෙය අපට අනගි අවස්ථාවක්" බව වැඩිදුරටත් පැවසීය.
වාහන ප්‍රවාහනය සඳහා පමණක් නිමකර ඇති CMA CGM සිල්වර්ස්ටෝන් නෞකාව මෙවර සිදුකළේ අනෙකුත් ක්‍රියාකරුවන් විසින් HIP හි ගොඩ බා තිබූ RoRo ඒකක ප්‍රතිනැව්ගත කිරීම පමණක් වූ අතර, දේශීය වෙළඳපොළ සඳහා වාහන ආනයනය හෝ අපනයනයක් සිදු නොවීය. මෙම නෞකාව මගින් හම්බන්තොට සිට මොරොක්කෝවේ කැසබාලංකා වරාය වෙත ඒකක ප්‍රවාහනය කරයි.
ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධිය ලබමින් සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉන්දියාව, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන රටවල නිෂ්පාදිත වාහන ගෝලීය වෙළඳපොළට ප්‍රතිනැව්ගත කරයි. CMA CGM සමාගමේ සමුද්‍ර සේවා අංශය විසින් නෞකාව HIP වෙත පැමිණීම සහ එයින් පිටත්ව යෑමේ කටයුතු සිදුකළ අතර, ග්ලෝවිස් සමාගම විසින් බඩු තොග මෙහෙයුම් කළමනාකරණය කර ඇත.
"CMA CGM සමාගම සිය RoRo හැකියාවන් අඛණ්ඩව පුළුල් කරමින් සිටින බැවින්, HIP වෙත මෙම පැමිණීම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ නව අවස්ථා සෙවීම සඳහා සමාගමේ ඇති උනන්දුව පිළිඹිබු කිරීමක් වන අතර HIP හි උපායමාර්ගික පිහිටීම සහ නවීන යටිතල පහසුකම් ඔවුනට රුකුළක් වනු ඇත,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි.