බීමතින් රිය අනතුරක් සිදුකිරීම සහ බලපත්‍ර නොමැති පිස්තෝලයක් සන්නතයේ තබා ගැනීම සම්බන්ධයෙන් නවින් දිසානායක මහතා ඇමතිවරයෙක්ව සිටියදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයක් මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (30) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ,කුඩා බුත්ගමුවේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මාලබේ – මුල්ලේරියාව මාර්ගයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ජල පොම්පාගාරය අසලදී මෝටර් රථයක් ඊයේ (30) රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනතුරට ලක්වූ මෝටර් රථය එම ස්ථානයේ දමා රියදුර සිට ඇත්තේ පළාගොසිනි.
පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ පතොරම් 11ක් හමුව ඇත.
මෙම ආයුධය සොයා ගැනීමත් සමඟ රියදුරු බව සඳහන් හිටපු ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයා පොලිස් ස්ථානයට පැමිණ භාරවී ඇත්තේ පිස්තෝලයේ බලපත්‍රයද රැගෙනය. එම බලපත්‍රය ඒ වන විට කල්ඉකුත්ව තිබී ඇති බවත් 2025 වසරට අලුත්කර නොමැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව එම පිස්තෝලය නීති විරෝධි එකක් බවද එම නිලධාරියා සඳහන් කළේය.
රිය අනතුර සිදුවන විට මෙම සැකකරු බිමත්ව සිට ඇති බවද තහවුරු වී තිබේ. ඒ අනුව බීමතින් රිය අනතුරක් සිදු කිරීම හා බලපත්‍ර නොමැති රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.